ඉඳුනිල් කහටපිටිය –
වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් ලද තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් අද (15) උදෑසන රටක් හඬවා අවසන් ගමන් ගියේය.
භාතිය ජීවිතයෙන් සමු ගන්නේ අද උදේ 8.55ටය. ඒ වන විට ඉන්දීය වෛද්‍ය කණ්ඩායමක් භාතියට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්දියාවෙනුත් ඇවිත් සිටියේය. එහෙත් ඒ වෛද්‍යවරුන් දුටුවේ භාතියගේ වැහැරුණ මළ කඳය. මහව මහේස්ත්‍රාත් තීරණයකට අනුව භාතියගේ දේහය පිළිබඳ ඉදිරි කටයුතු සිද්ධ වෙනවා ඇත.
ප්‍රතිකාර කළ හැටි
හස්තියාට ප්‍රතිකාර කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ලගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පොල්පිතිගම ප්‍රදේශයට ගොස් මහත් වෙහෙසක් දරන්නේ හස්ථියා පණ අදිමින් දුක් විඳ ජීවිතය සමග පොරබදමින් සිටි අවසන් මොහොතේදී ය.
ඒ වනවිට මේ හස්ථිරාජයාගේ මාංශ පේෂි දියවී ගොස්, රුධිර සංසරණයට ද බාධා එල්ලවී ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූයේය.
දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා ඊයේ (14) අනෙක් ඇලයට හැරවුයේය. බැකෝ යන්ත්‍ර ආධාරයෙනි. ඇතා වැටී සිටි වලට වතුර පිරවීමෙන් අනතුරුව මහාචාර්ය අශෝක දංගොල්ලගේ උපදෙස් අනුව වෛද්‍ය තරිදු විජේකෝන්, වනජීවී නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා එක්ව මේ මෙහෙයුම සිදුකළහ. එහෙත් ඇතා නැගී සිටියේ නැත. එබැවින් කළ හැකි දේ වූයේ අනෙක් ඇලයට පෙරළීම පමණි.
බලා සිටි උන් පැවසුවේ එ් මොහොතේ හස්ථියා මහත් සතුටින් හොඬවැලෙන් දිය ගැනීමට කරන ආයාසකර උත්සාහය තමන් බලා සිටියේ දෙනෙතින් නැගි කඳුළු පිස දමමින් බවය. මේ වනවිට දින නවයක් තිස්සේ ජලය සහිත මඩගොහොරුවට යට වූ ඇතාගේ ඇලය මහා තුවාලයක් වී බවට පත් වී තිබිණි. ඔහුගේ දකුණු පාදයේ පත්ල ගැලවී ගොස් ඇති ආකාරය ද නිරීක්ෂණය වූයේය. ඇතා නැගී පාද හතෙරන් සිටීමට උත්සාහ කළේ නැත.
තවත් කාරණාවක් තිබිණි. මහාචාර්ය දංගොල්ලට අනුව ඇතාගේ කනට එල්ල වූ වෙඩි පහර සතාගේ කර්ණ ශංඛයට හානි කර තිබිණි. ඒ තත්ත්වය මත ඇතාට සිය සමතුලිත තාවය අහිමි වී ගොස් තිබිණි. මේ ස්නායු ව්‍යසනය යළිත් පාද හතරින් නැගී සිටීම අහපසු වන තැනට භාතිය ඇද දමා ඇති ආකාරය අනාවරණය විය.
ඊයේ මහාචාර්ය දංගොල්ල මෙසේ කීවේය. “භාතියගේ කන අසල තුවාලය නිසා කර්ණ සංඛයට සිදුවී ඇති හානිය ඉතා බරපතලයි.එතනින් තමයි මේ හානිය ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒනිසාම අපි සතා ඉස්සුවාට එයා තනිවම හිටගන්න උත්සාහ කළේ වත් නැහැ.වනජීවීන් නිලධාරීන් හමුදා නිලධාරීන් තමයි මේ සතා මේ තත්ත්වයට ගත්තේ. ඒක මේ යන්ත්‍රවලට විතරක් කරන්න බෑ.අපි උත්සාහය ආතාරින්නේ නෑ .හිතුවටත් වැඩිය හානියක් වී ඇති බව තමයි අනෙක් පැත්ත පෙරළුවාට පස්සේ පෙනෙන්නේ? කනේ වෙඩි පහර තමයි මේ හානිය උපරිම කරලා තියෙන්නේ තියෙන්නේ. වෙඩි පහරකින් තමයි එක අතක් නමා නමා ගෙන ඉන්නෙත්ඉස්සරහින් අතේ අඩිය ගැලවී තියෙන්නෙත් මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් විදිහටමයි. බලමු අපි උපරිම උත්සාහ කරනවා”. දැන් ඒ උත්සාහ ඉවරය.

භාතියට පන්න පන්නා වෙඩි තැබූ ඉතිහාසය…
භාතිය වයසට වඩා පිරුණු පෙනුමකින් හෙබි, සමමිතික, හැඩ දළ යුවළකට හිමිකම් කියන අවුරුදු 30 – 35 අතර වයසක පසුවන කාගෙත් අවදානයට ලක්වූ හස්ති රාජයෙකි. මේ දුලබ වනජීවී සම්පත පාදඩයින් ගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ අවස්ථා ගණනාවක් තිබිණි. නිකවැරටිය වනජීවි කලාපය තුළදී මෙම ඇතා වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින බවට මුල්වරට ගම්වාසින් නිරීක්ෂණය කර තිබුණේ ඉකුත් පෙබරවාරි මාසයේදීය.
වෙඩි වැදී වේදනා විඳිමින් සිටි මේ මහරු ජීවී සම්පතට ඉකුත් මැයි මාසයේදී දෙපා තිරිසනෙක් විසින් යළිත් වරක් වෙඩි තිබ්බේය. දෙවැනි වෙඩි ප්‍රහාරයෙන් අසාධ්‍ය වූ භාතිය දක්නට ලැබුනේ නිකවැරටියට කිලෝමීටර් 20කට ආසන්න දුරිකින් පිහිටි මහව වනජීවි කලාපය තුළදීය.
දිගින් දිගටම එල්ලවන වෙඩි ප්‍රහාර දරාගෙන සිටි මේ විසල් හස්ථියාට නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය ප්‍රතිකාර කිරීම ඇරඹුවේය. එහෙත් ඒ තුවාල සම්පූර්ණයෙන් සුවය ලබා ප්‍රකෘති තත්ත්වයට පත්වීමට පෙර කාලකණ්නි තිරිසන් අපරාධකරුවෝ යළි යළිත් භාතිය ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාර එල්ල කළහ.
මේ සෑම අවස්ථාවකම අලි ඇතුන්ට ආදරය කරන මේ රටේ විශාල පිරිසක් මේ හස්ථියාගේ තත්ත්වය මුල සිටම වනජීවි අංශ වෙත වාර්තා කළේය. ඒ නිසාම යම් මැදිහත් වීමක් කිරීමට වනජීවී නිලධාරීන්ට සිදුවන්නේ සමාජයෙන් නිර්මාණය වෙමින් ඇති බලපෑම් ස්වරූපය නිසාය. මැරෙන්න වැටෙන තුරු උන් එකෙකුගේවත් ඇතාගේ ජීවිතය රැක ගන්නට අදාල සැබෑ කැප කිරීම නොකළ බවට චෝදනා තිබේ.
යළි කිසි දා නැගී සිටින්නට නොහැකි වූ තුවාල
කන ප්‍රදේශයටත්, පාදයකටත් එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් දිනෙන් දින දුර්වල තත්ත්වයට පත්වූ හස්තියා අවස්ථා කිහිපයකදීම ස්ථාන කිහිපයකම දණින් වැටී සිටිනු වාර්තා විය.
අවසානයේ මහව මානින්ගමුව පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක හස්තියා දින 09ක පමණ කාලයක් වැතිර සිටියේය. ඒ ඉතා අසාධ්‍යව දහ දුක් වින්දේය. ඒ ගාම්භීර වන ජීවී සම්පත, භාතිය අද අවසන් ගමන් ගියේය. ඒ මේ රටේ සම්පතක් ආරක්ෂා කරගැනීමට නොහැකි මුග්ධ සමාජයක නිරුවතේ ජුගුප්සාව ලෝකයට හෙළි කරමිනි.
දැන් අපට කියන්නට ඇත්තේ මෙපමණකි. මේ සතාට වෙඩි තබා යළි යළිත් වෙඩි තබා අනන්ත දුක් විඳ මැරෙන මට්ටමට පත්කළ තිරිසනුන් සම්බන්ධව දඬුවම සොබාදහම විසින් ලබා දෙනු ඇත. උන් කුණු පනුවන් ගසා මැරෙන්නට නියමිතය. එහෙත් මේ මහා සාපය රටක් ලෙස අප මත පැටවෙන්නේ නැතැයි කිව හැක්කේ කෙසේ ද?. මේ ඝාතනය හුදකලා සිදුවීමක් නොවේ. මැරෙන්නට වැටුන පසු ඇතා බලන්නට විත් ඇතා සමග හඬා වැටෙන මිනිස්සු නොව, රටකට අවශ්‍ය අවබෝධයෙන් මේ වැනි සම්පත් කළමනාකරණය කරගත හැකි මිනිස්සුය.
මැරෙන්නට නියමිත මිනිස්සු සහ මැරෙන්නට නියමිත අලි අතර තවමත් මේ රට තුළ ඇති ගැටුම ඒ බරින් අද දක්වා අප අවබෝධ කරගෙන නැත. මේ සමාජ ප්‍රශ්නයට ඇත්ත උත්තරයක් සෙවීමේ වගකීමට එක් කරගත හැකි විෂය ප්‍රමාණිකයෝ අප අතර වෙති. හැබැයි උන් දෙන ප්‍රායෝගික උත්තර දේශපාලකයින්ගේ අභිමතයන් හා මෙතෙක් පෑහුනේ නැත. මාලිමා දේශපාලනයට ද ඒ විද්වත් ප්රවේශයන් නොගැලපෙන බව මේ පරිසර ඇමතියාත් උගේ නඩයත් අපට සහතික කර තිබුණේ අලි පැන්නීමේ කුණුහරපයෙනි. සියල්ල දත් යැයි සිතන උද්දච්ඡයන් නිරූපණය කරන්නේ විද්වත් වෘත්තික භාවය නොව අමන මොඩකමය.
හිතු හිතූ අතේ බිලියන ගණන් වියදම් කර ගැසු අලිවැට නිශ්පල කර අලි ඇතුන් ගම් වදින විට මිනිස්සුන්ටත් විකල්ප නැත. අලියෙකුට, ඇතෙකුට පත්තු වෙන සෑම වෙඩිල්ලකටම, වෙඩි තියන තිරිසනුන් වගේම රටේ දේශපාලන මුග්ධකමත් එක හා සමානව වගකිව යුතුව තිබේ. අවසාන වශයෙන් අප ජීවත් වන්නේ අවුරුද්දට අලි 200ක්වත් වෙඩි තබා මරා දමන රටකය.
එයට පිළියම් නොසොයා මැරෙන්නට වැටුන අලි ඇතුන් සොය සොයා ගොස් උන්ගේ සමග ෆොටෝ ගසා බෙදා ගැනීම වෙනුවෙන් රෙදි ඇඳන් එන්නට මාලිමාවේ දේශපාලනයට සදාචාරාත්මක ඉඩක් නැත. මේ ආණ්ඩුව පත් කරගත්තේ ජීවිතය අපේක්ෂාවෙන් මිසක් මරා දැමූ උන්ගේ මළ ගෙවල්වල බූරු ගහන්නට නොවේ. ඒ බව යළිත් ආණ්ඩුවට සිහිපත් කර මේ සටහන නිමා කරමු.







