මේ වනවිට රටේ ප්‍රබලම අපරාධ රැසකට නම කියැවෙන නමුත් අපරාධ විමර්ශන අංශවලට බියෙන් ඩුබායිහි සැඟවී සිටින ප්‍රධානම පාතාලයෙක් විසින් හිටපු ප්‍රබල දේශපාලකයෙකුට, හිටපු පොලිස්පතිවරයෙකුට සහ පොලිසියේ ඉහළම නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
තර්ජනයට ලක් වී ඇති එක් උසස් පොලිස් නිලධාරියෙක් මේ වනවිට ඉන්නේ විශ්රාමගොස්ය.
බොහෝ පාතාල ප්‍රබලයින් ආරක්ෂක අංශවෙත සහ හිටපු හෝ ඉන්නා දේශපාලන ප්රබලයින්වෙත තර්ජන එල්ල කිරීම ප්‍රමාණය ඉක්මවා යෑමක් බව දන්නා බැවින් එවැනි ප්රවේශයන් වෙත එළඹීමට කටයුතු නොකරන නමුත් තමන්ට කිසිසේත් අදාලත් නැති, තමන් සමග සම්බන්ධයක් තිබුණේත් නැති මාකඳුරේ මධුෂ් ඝාතනය වැනි සිද්ධිවල පලි ගන්නා බව කියමින් අදාලත්වයක් නැති නිලධාරීන්ට පවා තර්ජනය කිරීම පසුපස ඇත්තේ කුමන අරමුණක්දැයි සමීපව නිරීක්ෂණය කරන බවත් විමර්ශන අංශ පවසයි.
කෙසේ වෙතත් ප්‍රමාණය ඉක්මවා යන මේ ප්‍රවේශය තුළ ඇත්තේ පාතාලයේ කෙරුමා වීමේ අපේක්ෂාව ද, එසේත් නැතිනම් මේ පුද්ගලයා වෙනත් ව්‍යාපෘතියක බළල් අතක් ලෙස ක්‍රියා කරන්නේද යන්න පිළිබඳව විමර්ශන අංශ අවධානයෙන් සිටින බව වාර්තා වේ.
මෙම ඇමතුම් පැමිණි දුරකථන අංක පිළිබඳ සිදුකළ අධ්‍යයනයේ දී එම දුරකථන අංක ඩුබායි සැඟව සිටිනා පාතාලයා විසින් භාවිතා කරන අංක බව තහවුරු කරගෙන ඇත.







