ශ්‍රියානි විජේසිංහ –
අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රොහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියක වූ මහේෂි විජේරත්න අත් අඩංගුවට ගැනීම රජයේ කුමන්ත්‍රණයක් ලෙස හෙළා දකිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලිපි ශීර්ෂයක් යටතේ සමාජ මාධ්‍යයේ සැරිසරන ලිපිය මුළුමනින්ම ව්‍යාජ එකක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ ව්‍යාජ ලේඛනය සකස් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නාමය සහ නිල ලාංඡනය අවභාවිතා කර ඇති බව ද එම ‘ව්‍යාජ සහ කූඨ’ ලේඛනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිසිදු සම්බන්ධයෙක් නොමැති බවත් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කීර්ති නාමයට හානි කිරීමේ දේශපාලන අරමුණින් සිදු කරන මෙවන් මඩ ප්‍රචාර සහ ව්‍යාජ තොරතුරු බෙදා හැරීම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සංගමය තීරණය කර ඇති බවද හෙතෙම අවධාරනය කරයි.







