කොලොන්නාව නගර සභාවේ බලය අද ජාතික ජන බලවේගය විසින් පිහිටවනු ලැබුවේය. ඒ සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ සභිකයෙකුගේ සහයෝගය ද සහිතවය.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාගරිකා ජයසුන්දරගේ ප්රධානත්වයෙන් අද කොලොන්නාව නගර සභාවේ මංගල සභාව රැස්වූ අවස්ථාවේ දී එහි ප්රමුඛ කාර්යය ලෙස මෙම තෝරාගැනීම සිදුකෙරිනි.
කොලොන්නාව නගර සභාවේ ආසන 09ක් ජාතික ජන බලවේගයට හිමිව තිබිණි. ඒකාබද්ධ විපක්ෂයට ආසන 10ක් හිමිවූයේය. කොළඹ මහ නගර සභාවේ මෙන්ම සභාව ආරම්භයේදීම කොලොන්නාව නගර සභාවේ දී ද මන්ත්රීවරුන් අතර සංවාදාත්මක තත්ත්වයක් ඇති වූයේය. ඒ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්රීවරුන් රහස් ඡන්දයක් ඉල්ලීමත් සමගය.
මේ තත්ත්වය හමුවේ විපක්ෂයේ මන්ත්රීවරු 10 දෙනාගෙන් 09 දෙනෙක් සභාවෙන් පිටවී ගියහ. පිටවී නොගොස් ඉතිරි වූයේ සමගි ජන බලවේගයේ වැඩිම මනාප හිමිකරගත් නාගරික මන්ත්රී සුසිල් කුමාරය.
මෙම මන්ත්රීවරයාගේ සහාය ජාතික ජන බලවේගයට හිමිවන්නේ බලය අත් කරගන්නට සූදානමින් සිටි සමස්ථ විපක්ෂයම තිගස්වමිනි. මේ තත්ත්ය තුළ ඡන්දයක් පැවැත්විය හැකි ආකාරයට සභාවේ ගණ පූරණය පැවතිනි.
අනතුරුව රහස් ඡන්දයක් පැවැත්විනි. එම රහස් ඡන්දයේ දී සභාවේ ඉතිරි වී සිටි එකම සමගි ජන බලවේගයේ මන්ත්රීවරයා ද ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට පක්ෂව ඡන්දය ප්රකාශ කරනු ලැබුවේය. ඒ අනුව කොලොන්නාව නගරසභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටවනු ලැබුවේය.
ඒ අනුව බහුතර ඡන්දයෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක ධම්මික විජයමුණි කොලොන්නාව නගර සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වූයේය.







