මනම්පිටිය නිමල් ජයරත්න –
ජාතික ජන බලවේගය අද පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවනු ලැබුවේය. ඒ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් වුන අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද 02ක් ලබා ගනිමිනි.
උතුරු මැද පළාත් කොමසාරිස් ඩබ්ලිව්.එම්.රුවන් විජේසිංහගේ ප්‍රධානත්වයෙන් අද (16 ) වැලිකන්ද ප්‍රාදේශිය සභා ශ්‍රවනාගාරයේදී පැවති රහස් ඡන්ද විමසීමකදී ඡන්ද දහයක් හිමිකරගිනිමින්, ජාතික ජන බලවේගය සභාපති අපේක්ෂකයා ලෙස නම් කළ ඩී. ඩබ්ලිව්.වසන්ත ආයතනයේ සභාපති ධුරය හිමිකර ගත්තේය.
උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහාද රහස් ඡන්දයක් පැවැති අතර එහිදී ඡන්ද නමයක් හිමි කරගත් ජාතික ජනබලවේගයේ එම්.එල්.විමලරත්න උප සභාපති ලෙස තේරී පත් වූයේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වැලිකන්ද ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බල වේගය සභික ධූර අටක් හිමිකර ගත් අතර විපක්ෂව මන්ත්‍රීධූර නමයක් ලබාගෙන තිබිණ.
ඒ අනුව සමගි ජන බලවේගය සඳහා මන්ත්‍රී ධුර 04 ක් ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහා මන්ත්‍රීධූර දෙකක්ද, පොදුජන එක්සත් පෙරමුණ සඳහා මන්ත්‍රී දෙකක් සහ එක්සත් ජාතික පක්ෂය සඳහා මන්ත්‍රී ධුරයක්ද ඇතුළුව මන්ත්‍රී ධූර නවයක් විපක්ෂව හිමි කරගෙන තිබිණි.
මෙම අවස්ථාවේ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බි. සරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි, පද්මසිරි බණ්ඩාර, සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් ද සභා ගර්භයේ අසුන්ගෙන සිටියහ.
ජන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි තම පක්ෂයට බලය පිහිට වීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුද සහාය ලැබීම අගය කරන බව කීවේය.
මීට පෙර ඒකාබද්ධ විපක්ෂය වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ බලය ලබාගැනීම සඳහා සංචාරක නිකේතනවල මන්ත්‍රීවරු නව දෙනකු රඳවා ගනිමින් සාද පැවැත් වූ බවත්, මන්ත්‍රීවරුන් දෙදෙනෙකු තම වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි අවබෝධයකින් සහය ලබාදීම පිළිබඳව තම පක්ෂය ස්තුති වන්ත වන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමගි ජන බලවේගය පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් සඳහන් කළේ, පත් වු අභිනව සභාපතිතුමාට තම කණ්ඩායමේ සුබ පැතුම් එක්කරමින් සහය ලබාදෙන බවය. වැරදි කරන විටදී ඊට විරුද්ධව කටයුතු කිරීමටත්, යහපත් දේ සිදුකිරීමේදී තම කණ්ඩායමේ සහාය ලබාදී වැලිකන්ද ප්‍රදේශය නව රජය යටතේ සංවර්ධනය කිරීමට සහාය ලබාදෙන බවත් ඔහු පැවසුවේය.







