ඩිලන්කා ගෝමස් –
දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලේ වැටී සිටියදී රෝහල්ගත කිරීමෙන් අනතුරුව පසුගිය ජනවාරි මස 3 වන දින අභිරහස් ලෙස මියගිය මාධ්‍යවේදිනි ශ්‍රියානි විජේසිංහගේ සැමියාගේ මරණය හිසට මොට නම්‍යශීලී වස්තුවකින් පහර දීමෙන් සිදු වූවක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා අද (12) ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසීය.
අධිකරණ වෛද්‍යවරයා මෙලෙස පවසා සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් මරණ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ගෙන් යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවට මහේස්ත්‍රාත්වරිය වෙත කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සාක්ෂි සඳහා අධිකරණයට කැඳවූ අවස්ථාවේදීය.
හිසෙහි දකුණු පස, ශරීරයේ පිටුපස සහ අත්පාවල මොට නම්‍යශීලී වස්තුවකින් පහරදීමෙන් ඇති වූ තුවාල 21 ක් තමන්ට නිරීක්ෂණ කල හැකි වූ බවත් ශරීරයේ කැපුම් සහා ඇනුම් තුවාල කිසිවක් නොමැති බවත් අධිකරණ වෛද්‍යවරයා අධිකරණය හමුවේ වැඩි දුරටත් පැවසීය.
මාධ්‍යවේදිනියගේ සැමියා දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලෙහි වැටී සිට ඇති අතර එදින රාත්‍රීයේදී නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරියා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද දුරකතන ඇමතුමකට අනුව රාත්‍රී 11 ට පමණ දෙහිවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කර බලා තිබුණි.
තුවාල සහිත පුද්ගලයා එම අවස්ථාවෙහිදී රෝහල්ගත කිරීමට පොලිසිය හෝ නිවැසියන් කටයුතු නොකළේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරිය අදාළ නිවසෙහි පදිංචිකාරිය වන නීතිඥවරියගේ සාක්ෂි කැඳවූ අවස්ථාවේදී නීතිඥවරියගෙන් විමසීය.
එදින පැමිණි පොලිස් නිළධාරීන් තුවාලකරු පරික්ෂා කර බලා ඔහු බීමත්ව සිටින බවත් ටිකකින් නැඟිට යනු ඇති බවත්, දොරවල් හොඳින් වසා ගේට්ටුව පමණක් විවෘතව තබා නිවැසියන් ට නිදාගන්නා ලෙසත් පොලිස් නිළධාරීන් තමන්ට උපදෙස් දුන් බව අදාළ නිවසෙහි පදිංචිකාරිය වන නීතිඥවරිය අධිකරණය හමුවේ පැවසීය.
මරණය සම්බන්ධයෙන් ඇති අනෙකුත් සාක්ෂි කැඳවීම ජූලි මස 3 වන දිනට සිදු කරන ලෙසට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙලෙස මිය ගොස් ඇත්තේ අගොස්තිනුගේ හේමජීව නැමැති දෙහිවල වෛද්‍ය පාරේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය තැනැත්තාගේ බිරිඳ මාධ්‍යවේදිනියක වන අතර සිය සැමියා ජනවාරී මස පළමුවනදා රැකියාවට පිටත්ව ගොස් නැවත නිවස කරා නොපැමිණිම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදී ඊට පසුදින එනම් ජනවාරි 2 වන දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැළුම් පහරවල් සහිතව ඉතා අසාධ්‍ය තත්වයෙන් සිටියදී සොයා ගෙන තිබුණි.
අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරු ජනවාරි මස 03 වන දින උදෑසන මියගොස් තිබූ අතර මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසියෙන් සාධාරණ විමර්ශනයක් සිදු කිරීම බලාපොරොත්තු විය නොහැකි වීම යන කරුණු මත මරණය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුනි.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු , වරුණ ජයසිංහ යන නීතිඥවරුන් පෙනී සිටියහ.
ඒ අනුව මෙම නඩුව ජූලි මස 3 වන දින නැවත කැඳවීමට නියමිතයි







