-
ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන ලියාපදංචි වෙලා තියෙන්නේ රෙස්ටොරන්ට් විදිහට… හොයාගෙන ඇති 4න් 02කටත් ලියාපදිංචිය නෑ… සංස්කෘතික ඇමති කියයි!
නීත්‍යානුකූල අවසරයක් නැති බව ප්‍රකාශ කරන ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන සඳහා පොලිස් සහ එස්ටීඑෆ් ආරක්ෂාව ලබා දෙන්නට රජය කටයුතු කරන්නේ කෙසේ දැයි අද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.
මන්ත්‍රීවරයා 27/2 යටතේ සිය ප්රශ්නය යොමු කරමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවිගෙන් විමසා සිටියේ එක් අතෙකින් නීති විරෝධී යැයි කියන ගමන්ම අනෙක් අතින් එම ස්ථාන සඳහා පොලිස් ආරක්ෂාව ලබා දීම ගැටලු සහගත බවය. ඔහු පෙන්වා දුන්නේ ඊශ්‍රයාලය වැනි දැඩි විසංවාදයකට ලක් වුන, තමන්ගේ අරමුණු වෙනුවෙන් ඕනෑම ව්‍යසනයක් කිරීමට සූදානම් රාජ්‍යයකට රට තුළ මේ තරම් සැහැල්ලු ලෙස කටයුතු කිරීමට රජය ඉඩ දී ඇත්තේ කුමක් නිසාද යන්න ගැටලුවක් බවය.
යුදෙව් ආගමිකයින් නැති රටක යුදෙව් ආගමික මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට ඉඩහැරීම මොසාඩ් වැනි සංවිධානවලට රට තුළ නිදහසේ කටයුතු කිරීමට ප්‍රවේශ සකස් කරන බව කී මන්ත්‍රීවරයා මේ සම්බන්ධව රජය නිශ්චිත ක්‍රියාමාර්ග ගන්නේ කවදාදැයි විමසා සිටියේය.
ඊශ්‍රයාල ජාතිකයන්ගේ ආගමික මධ්‍යස්ථාන සම්බන්ධව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි ප්‍රකාශ කළේ ඊශ්‍රයාල ජාතිකයින්ගේ ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන සොයා ගැනීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් බවය.
මෙම ආයතන ලියාපදිංචි වී ඇත්තේ සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ නොව, විවිධ ප්‍රාදේශීය සභාවල, සමාගම් මැදුර වැනි ආයතනවල ආපනශාලා සහ වෙනත් ව්‍යාපාර ලෙස බව කී ඇමතිවරයා ලබෙන තොරතුරු අනුව ඒ මධ්‍යස්ථාන සම්බන්ධව සොයාගෙන යන බව කීවේය.
දැනට ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන හතරක් පොතුවිල්, වැලිගම, ඇල්ල සහ තිඹිරිගස්යාය ප්‍රදේශවල හඳුනාගෙන ඇති බවත් ඉන් වැලිගම සහ ඇල්ල යන ස්ථානවල පිහිටි ආගමික මධ්‍යස්ථාන පමණක් සමාගම් මැදුරේ ලියාපදිංචි වී ඇති බවත් ඇමතිවරයා කීවේය.
ඇමතිවරයා සිය පිළිතුර පාර්ලමේන්තුවට මෙසේ වාර්තා කළේය.
“පොතුවිල් කොට්ඨාසයේ මධ්‍යස්ථානය ලියාපදිංචිය සම්බන්ධව හේතුවක් නැත. ග්‍රාමනිලධාරීවරයා අදාල ස්ථානයේ ක්ෂේත්‍ර පරීක්ෂාව සිදුකරන විට අදාල තොරතුරු ලබාගැනීමට ඒ පිළිබඳව දන්නා කිසිවෙක් රැඳී සිටි නැති බැවින් මහජනයාගේ තොරතුරු ලබාගෙන තිබේ. ඔවුන් දැනුම් දී ඇත්තේ මේ ඉඩම පුද්ගලික ඉඩමක් බවත් එය ලියාපදිංචි කළ නොමැති බවත්, සංචාරක සමයේ දී ඊශ්‍රයාල ජාතිකයින් බොහෝ ලෙසින් මෙම ස්ථානයට එන බවත්, ඔවුන් ආගමික ඉගැන්වීම් ආදියේ නිරත වෙමින් ආගමික කටයුතුවල නිරතවන බවත් මේ වනවිට ඔවුන් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින බවත් ග්‍රාමනිලධාරී වාර්තාවේ දැක්වේ.”
“තිඹිරිගස්යායේ මධ්‍යස්ථානය රජයේ පිළිගත් ආයතනයක් හෝ ආගමික ස්ථානයක් ලෙස ලියාපදිංචි වී ඇති බව වාර්තා වෙන්නේ නැත. පූජා කටයුතු වෙනුවෙන් යැයි අරමුණුකොට ගෙන ඊශ්‍රයාල ජාතිකයින් හතර දෙනෙක් නේවාසිකව සිටි අතර පිටස්තර වෙසෙන ඊශ්‍රයාල ජාතිකයින් මේ ආගමික කටයුතුවලට සම්බන්ධ වන බව වාර්තා වේ.”
ඇමතිවරයා කීවේ වැලිගම සහ ඇල්ල ආගමි මධ්‍යස්ථාන දෙක 2022/04/21 දින සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බවය.
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා – කොළඹ ප්‍රදේශයේ තැන් දෙකක් පවත්වාගෙන යනවා. එකක් තමයි කොළඹ 7 සිනමන් රෙඩ් එක ඉදිරියේ තියන කබාබ් හවුස් එක. දෙවැනි එක දෙහිවල අල්විස් ප්‍රදේශයේ. මේ දෙක සම්බන්ධව දෙසැම්බර් මාසයේ ප්‍රශ්න කළාම අගමැති තුමිය පිළි ගත්තා මේවා නීත්‍යානුකූළ නෑ. මේවා ලියාපදිංචි කරලා නෑ කියලා. ඒත් මේ දෙකමටම තවම රජයේ පොලිස් ආරක්ෂාව සහ එස්ටීඑෆ් ආරක්ෂාව ලබාගෙන පවත්වාගෙන යනවා. මාස 07ක් ගිහින්. ඇයි මේ නීත්‍යානුකූළ නොවන මධ්‍යස්ථාන ගැන ක්‍රියාමාර්ග නොගෙන ඉන්නේ.
ආචාර්ය සුනිල් සෙනවි – එස්ටිඑෆ් ආරක්ෂාව ඉවත් කරලා තියෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිතුමා ඒ ගැන පිළිතුරක් දේවි.
මේ ලියාපදිංචිය හරිම සංකීර්ණයි මන්ත්‍රී තුමා. මගේ අමාත්‍යාංශයෙ ප්‍රධාන ආගම් 4ට ම දපොර්තමේන්තු තියනවා. ඒවා ලියාපදිංචි කරන ක්‍රම පෝරම තියනවා. නමුත් සමාගම් මැදුරේ මේවා ලියාපදිංචි වෙන්නේ. ආපන ශාලා රෙස්ටොරන්ට් වගේ පෙනෙන්න තියෙන්නේ. මේ තොරතුරු රැස් කරගැනීම පවා හරිම දුෂ්කරයි. අපේ ප්‍රධාන ආගම් 4 තියන තැන නෙමෙයි ඔවුන් ලියාපදිංචි වෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල. තැන්තැන්වල. තොරතුරුක් ලැබුනාම තමයි පරීක්ෂා කරන්න වෙන්නෙ.
සොයාගෙන යනවා. කටයුතු කරනවා. තොරතුරු ලැබුන විදිහට සොයාගෙන යන්නේ.
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා – එස්ටීඑෆ් ආරක්ෂාව ඉවත් කරලා ඇති මම කිව්ව ආගමික මධ්‍යස්ථානවල. නමුත් දැන් ගිහින් බලන්න. පොලිසිය ආරක්ෂාව තියනවා තවමත්. එස්ටීඑෆ් අයින් කළත්. අපේ රටේ යුදෙව්වො නෑ. ඊශ්‍රයාලය ඉතාම ආන්දෝලනාත්මක රටක්. මොසාඩ් සංවිධානය සම්බන්ධයි. අපේ රටේ සංස්කෘතික මධ්‍යස්ථාන හරහා ඇතුළත් වීමයි ඔවුන්ගේ අදහස. ඊශ්‍රයාලය පිළිබඳ ඇයි මේ තරම් සොෆ්ට් විදිහට හිතන්නේ. ඔවුන් කරන්නෙ ආන්තික ව්‍යාපාරයක්. ඒකට නීත්‍යානුකල බවක් ලැබෙනවා මේ හරහා. නීත්‍යානුකූල නොවන මධ්‍යස්ථාන වසා දමන්න කියලා මා ඉල්ලනවා.
ආචාර්ය සුනිල් සෙනවි – ඔබ දන්නවා යුදෙව් ජාතිකයන් රටට එන්නේ ආගමික කටයුතු නිසාද කියලා අපට නිශ්චය කරන්න බෑ. සංචාරක වීසා එක්ක සංචාරකයින් ලෙස එනවා . ඔවුන් සංචාරකයින් ලෙස රටට ආවට පස්සේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයන්න අපි බැඳිලා ඉන්නවා. ආගමික අවශ්‍යතා කියන්නේ ඉන් ප්‍රධාන එකක්. ඔබ මතුකරන ප්රශ්නය පැහැදිලියි. මේ සංකීර්ණත්වය විසඳන්න ඕන. ඒක විසඳමු. නැවත කියන්නේ සංචාරකයින් ලෙස රටට එන පිරිස්වලට අපට සමානව සලකනන් වෙනවා සංචාරකයින් ලෙස. මේ තත්ත්වය විධිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. “







