ශ්‍රියානි විජේසිංහ –
රිලවාගෙන් මිනිසාට බෝවිය හැකි රෝගයන් මොනවාද යන්න පිලිබඳව සොයා බැලීමේ ව්‍යාපෘතියක් පේරාදෙණිය පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අශෝක දංගොල්ල, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති සහ අණුක විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ ය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නදීරා කරුණාදීර එක්ව ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ මූල්‍ය ආධාර යටතේ ආරම්බ කරන මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම කාර්ය වන්නේ රිලා ගහණය අඩුකීරීම සඳහා ගැහැණු සතුන්ට ලූප් පැළදවීම වන අතර වෛරස් සොයා ගැනීම අතුරු කාර්යය බව මහාචාර්ය අශෝක දංගොල්ල ලංකාසර වෙත පැවසුවේය.
වසර 3ක් පුරාවට සිදුකරන මෙම ව්‍යාපෘතිය අනුරාධපුර එල්ලාවල කළාවැව මායිමේ ආරම්බ කරන බව මහාචාර්යවරයා පැවසුවේය.
රිලවියන්ට ලූප් පැළදවීමට පෙර එම සතා ගැබ්ගෙන තිබෙන්නේද යන්න පිලිබඳව ස්කෑන් පරික්ෂාවකින්, එක්ස්කිරණ පරික්ෂාවකින් සොයා බැලීමක් කරන අතර එම සතාගේ මුත්‍රා සාම්පලයකින් ඌ ගැබ්ගෙන තිබේද නැද්ද යන්න පර්යේෂණාත්මක අත්හදාබැලිමක් කරන බව හෙතෙම පැවසුවේය. සතා මුදා හැරීමට පෙර නළලේ ටැටූ ලකුණක් කොටන බවත්, නැවත නිශ්චිත දින ගණනක දී ලූප පැළඳූ සතුන් පරීක්ෂා කර පර්යේෂණයේ ප්‍රගතිය සමාලෝචනය කරන බවත් ඔහු කීවේය.







