කොටහේන් දී ඊයේ සිදුවූ වෙඩි තැබීම ප්‍රදේශය තුළ කාලයක් තිස්සේ සිදුවෙමින් යන මරාගැනීම් දාමයක තවත් එක් අවස්ථාවක් බව විමර්ශන අංශ පවසයි.
කොටහේන සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ (16) සවස සිදුවී ඇති වෙඩි තැබීම දැනට ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින පූකුඩිකන්නා ගේ මෙහෙයවීමෙන් සිදුවී ඇති බවත් ඉලක්ක වී ඇත්තේ ඝාතනය වුන කුප්‍රකට කුඩු ජාවාරම්කාරියකවන කුඩු සෙල්විගේ පවුල්වලට හිතවත් පුද්ගලයින් දෙදෙනෙක් බවත් මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
මේ වනවිට දියත් වී ඇති රැල්ලට අනුව කුලී ඝාතකයින්ගේ ගොදුරු වන්නේ අපරාධ ජාලයේ සිටින පුද්ගලයින්ම නොවන බවත්, තමන්ට ප්‍රතිවිරුධ පාර්ශවයට හොඳටම දැනෙන පුද්ගලයින් සොය සොයා වෙඩි තැබීම මේ අපරාධ රැල්ලේ ස්වරූපය බවත් විමර්ශන අංශ පවසයි.
මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ යතුරු පැදියකින් පැමිණි කුලී වෙඩික්කරුවන් දෙදෙනෙකි. වෙඩි තැබීම සිදුකර තිබුණේ පිස්තෝල ගිනි අවියකිනි. අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් දියත් කර ඇත. තවමත් පුද්ගලයින් හඳුනාගෙන නැත.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ වයස අවුරුදු 42ක පුද්ගලයෙක් සහ වයස අවුරුදු 70ක වියපත් කාන්තාවකි. ඔවුන් ජීවිත අවදානමකින් තොරව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.









