ශ්‍රියානි විජේසිංහ –
නවක වද සිදුවීම් පිළිබඳව පාලන අධිකාරියට දැනුම් දීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකම විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මකවන බවත්, එම තොරතුරු ලබා දෙන සිසු සිසුවියන්ගේ අනන්‍යතාව පූර්ණ ලෙස ආරක්ෂා කිරීමට එම ක්‍රමවේදය තුළින් තහවුරු කරන බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන සඳහන් කරයි.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාලය තුළ මානසික ආතතියෙන් පෙළෙන සිසුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවය.
දෙමාපියන් රැකවරණය මැද ජිවත්ව පාසල් හා ටියුෂන් සංස්කෘතියෙන් මිදී පැමිණෙන විශ්ව විද්‍යාල පරිසරය දරුවන්ට අලුත් අද්දැකීම් රාශියක් එකරාශිකරන පරිසරයක් බවත් එම පරිසරය තුළ අධ්‍යාපන කටයුතු මෙන්ම තමන්ගේ පෞද්ගලික කටයුතුද තනිවම කර ගැනීමට සිදුවිම මෙම මානසික ආතතියට ලක්විමට ප්‍රධාන හේතුව ලෙසත් ඔහු පෙන්වාදේ.
මෙවැනි මානසික ආතතියකින් පෙළන දරුවෙකු නවක වදයකට මුහුණදීමට සිදුවීම ඔහුට හෝ ඇයට දරාගැනීමට නොහැකි තත්ත්වයන්ද උදාවනු ඇති බවත් සබරගමුව විශ්ව විද්‍යාලය තුළ ඇතිව තිබෙන තත්ත්වයද මෙවැන්නක් ද යන්න සොයා බැලිය යුතු බවත් මහාචාර්යවරයා පෙන්වාදේ.
තවද මානසික ආතතියට ලක්වෙන සිසුන්ට අවශ්‍ය උපදේශන සේවාවන් ලබා දිම හා ඔවුන්ව නිරන්තරයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඔවුන් අධීක්ෂණයට ලක්කිරීම ද සිදුවන බව මහාචාර්ය බරණ ජයවර්ධන සිටියි.
කෙසේ නමුත් මානසික ආතතියකින් දරුවෙක් පෙළෙන්නේ නම් ඔහු සමීපයේ සිටින ඔහුගේ හෝ ඇයගේ යහළු යෙහෙළියන් ඒ බව විශ්ව විද්‍යාල පාලන අධිකාරියට දැනුම්දිය හැකි ක්‍රමවේදයක් මේ වන විට සියලුම විශ්විද්යාලයන් තුළ ස්ථාපිත කර ඇතැයිද පෙන්වාදෙන මහාචාර්යවරයා නවක වදයන් සම්බන්ධයෙන්ද පාලන අධිකාරියට හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දිය හැකි ක්‍රමවේදයක්ද සකසා ඇතැයි පවසා සිටියි.
මෙසේ පැමිණිලි කරන සිසුන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරිම අනිවාර්යයෙන්ම සිදුවන්නක් බැවින් ඒ පිලිබඳව කිසිදු සැකයක් ඇතිකර ගත යුතු නැතැයිද මහාචාර්යවරයා අවධාරණය කරයි.







