උපේක්ෂා උඩුවැරැල්ල –
සිංහල අම්මලා පැලෝපීය නාල මිරිකා වඳ කළ බව කියා නොකළ වරදකට හිරේ යැවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍ය ෂාෆි සහාබ්දීන්ගේ වැඩිමහළු දියණිය සෙයිනබ් ෂාෆි උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් A සාමාර්ථ 3ක් සහිතව සමත් වී තිබේ.
ඇය දිස්ත්‍රිකයේ ජීව විද්‍යා අංශයෙන් 12 වැනියා ය. වෛද්‍ය විද්‍යාල ප්‍රවේශයට එම ප්රතිඵළය හොඳටම සෑහෙන්නේය.
දැරියක විෂයන් තුනටම A සාමාර්ථ 3ක් සහිතව උසස්පෙළ විභාගය සමත්වීම ප්‍රවෘත්තියක් නොවේ. එහෙත් සෙයිනබි දියණියගේ මේ විභාග සාමාර්ථය ගෝත්‍රික සමාජයක අර්ධ ම්ලේච්ඡ හැසිරීමට ලබා දුන් ශිෂ්ඨාචාරවත් පිළිතුරක් බැවින් මේ සාමාර්ථයට ප්රවෘත්තියකටත් වඩා වැඩි අගයක් තිබේ.
ෂාෆි සහාබ්දීන් අත් අඩංගුවට පත් වන්නේ ශිෂ්ට සමාජයක සිදුකළ හැකි නින්දිතම අපරාධයක් සම්බන්ධව සමාජ වෛරය කුළුගන්වන වරදක් පටවමිනි. මේ වකවානුව තුළ ෂාෆි එල්ලා මැරීමට නියමකළ සමාජ විරෝධයක් මතුවෙද්දී මේ දරුවන්ට මරණ වරෙන්තුව ලියැවී තිබිණි. මේ අසරණයින්ට පාසලට යන්නට තබා නිවසින් එළියට බැහැගන්නට නොහැකි වූයේය. උන් සිටියේ සමාජයට බයේ සැඟවීගෙනය.
තාත්තා සමාජය පිළිකුල් කරන අපරාධකරුවෙක් ලෙස බන්ධනාගාරයේය. මේ සිදුවීම මැදිහත්ව දුටු අතලොස්සක් හැර බහුතර සිංහල බෞද්ධ දේශප්‍රේමීන් බලාගෙන සිටියේ සාෆිගේ පවුලේ අයත් ජාඩි දාන්නටය. රතන සාදු ඒ ගේමේ පෙරමුණේ සිටිමින් මිනිස්සු උසිගැන්වූ ආකාරයත් සාෆි විසින් වඳ කළ බව කියන අම්මලා කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරියට ගාල් කර උද්ඝෝෂණ කරන්නටත් නඩු දාන්නටත් පෙරමුණ ගත්තේය. මේ කෙළියට කෙළවුනේ උද්ඝෝෂණය කළ අම්මලා අවුරුද්දකින් දෙකකින් ගැබ් ගත් පසුය. ඒත් සාෆි හිටියේ වරදකරුවා වෙලාය.
එවැනි සමාජ පීඩනයක් දරාගෙන, මුල් වකවානුවේ අධ්‍යාපනය කඩාකපල් වෙද්දී, අනතුරුව පාසල් පන්ති කාමර තුළත් කොන් වී යද්දී මේ දියණිය මහා ජවයකින් මේ සියල්ල දරාගෙන සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථ 10ක් ගත්තාය. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික්කයෙන් 12 වැනියා ලෙස A සාමාර්ථ තුනක් සහිතව සමත් වූවාය.
බුදු සරණයි දුවේ… ඉතාම දක්ෂ වෛද්‍යවරියක් වෙන්න… ප්‍රතිකාර අවශ්‍ය විකෘති විශාල ප්‍රමාණයක් තවමත් මේ සමාජයේ වෙති. ලස්සන රටක් හදාගන්න ඒ ව්‍යාදිය සුවපත් කිරීම අවශ්‍යය.







