ගෝලීය සදාචාරාත්මක පැවැත්මක් උදෙසා මඟ පෙන්වන්නෙකු මෙන්ම, සාමය, යුක්තිය සහ දයානුකම්පාව වෙනුවෙන් ගැඹුරු මෙන්ම ගෞරවනීය හඬක් නැඟූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් තම හෘදයාංගම ශෝකය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිලිබඳ ශෝක පනිවිඩයක් නිකුත් කරමින් පවසයි.
දුප්පතුන් කෙරෙහි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් වහන්සේගේ නොසැලෙන මානවවාදී දැක්ම මෙන්ම ගෝලීය එකමුතුකම වෙනුවෙන් වෙහෙස නොබලා දැරූ ප්‍රයත්නය සහ උන් වහන්සේගේ අධ්‍යාත්මික නායකත්වය සියලු ආගම්වලට අයත් මිලියන ගණනකගේ සිත්සතන් ස්පර්ශ කරන්නට සමත් වූ ආකාරය ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් සිහි කරයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිබඳ මතකය ශ්‍රී ලංකාව තුළ සුවිශේෂි වූ භක්ත්‍යාදරයකින් යුතුව සමරනු ලබන බවත් 2015 වසරේ ජනවාරි මාසයේදී අප රටෙහි උන් වහන්සේ සිදු කළ ඓතිහාසික සංචාරය, වසර ගණනාවක යුදමය තත්ත්වයකින් පසු අප ජනතාව සුවපත් කළ අධ්‍යාත්මික සුවයේ සහ අන්තර් ආගමික සහයෝගීතාවේ මොහොතක් ලෙසින් අප සැමගේ මතකයේ සදා පවතින බවත් දක්වන ජනාධිපතිවරයා උන් වහන්සේට ස්වර්ගීය සම්පත්ති ප්‍රවේශය ප්‍රාර්ථනා කරයි.
ජනාධිපතිවරයාගේ ශෝක පණිවිඩය පහත දැක්වේ.








