පසුගිය මස 21 වැනිදා දෙවුන්දර විෂ්ණු දේවාලයේ වාහල්කඩ ඉදිරිපිට දී යතුරු පැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමට භාවිතා කළ බවට සැක කරන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (12) අළුයම සොයාගෙන තිබේ.
මෙම සොයා ගැනීම කරනු ලබන්නේ ඝාතනය සඳහා අත් අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් දීරඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය. සැකකරු කුලී පදනම මත ජීවත් වූ නිවසේ සඟවා තිබිය දී මෙම ගිනි අවිය සහ මැගසීනය සොයාගෙන තිබිණි.
පසුගිය දා මෙම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවෙක් ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් පොලිස් අත් අඩංගුවට පත් වී තිබිණි. වෙඩික්කරු අත් අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 07 වැනිදාය. ඒ ඔහු තවත් සැකකරුවෙක් සමග පැමිණ නීතිඥයින් මාර්ගයෙන් ගන්දර පොලිසියට භාර වීමෙන් අනතුරුවය.
පසුගිය මස 21 වැනිදා දෙවුන්දර විෂ්ණු දේවාලය ඉදිරිපිට දී යතුරු පැදියක ගමන් ගත් 29 හැවිරිදි පසිඳු තාරක හා 28 හැවිරිදි යොමේෂ් නාදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේම පදිංචි තරුණයින් දෙදෙනා ඝාතනය කර තිබුණේ ඝාතකයින් සහිතව පසුපසින් පැමිණි වෑන් රියක ගැටීමට සලස්වා ඔවුන් බිම වැටුන පසු ටී -56 සහ මිලි මීටර් 9 පිස්තෝල ගිනි අවිවලින් වෙඩි තැබීමෙනි. අනතුරුව වෑන් රථය ගිනි තබා ඝාතකයෝ පලා ගොස් තිබුණහ.
විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණය කරගෙන තිබුණේ ඩුබායි හී සැඟව සිටින ෂෙහාන් සත්සර හෙවත් ‘බාලේ මල්ලි’ නම් අපරාධකරු විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි







