මැතිවරණයට පෙර කාල වකවානුවට සිරි දළදා ප්‍රදර්ශනය යොදා ගැනීමේ අවශ්‍යතාවයක් රජයට නොතිබුණු බවත්, එම උතුම් ආගමික උත්සවය ඡන්දය අතරට යොදා ගන්නට සිද්ධ වන්නේ විපක්ෂයට ඡන්දය කල් දමා ගැනීමට තිබූ උවමනාවේ ප්‍රතිඵලයක් ලෙස බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
අද කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාව අතර මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ පුංචි ඡන්දය සිරි දළදා ප්‍රදර්ශනයට ගාවා ගැනීමට රජයේ කිසිම අභිලාෂයක් නොතිබුණ බවය.
“සිරි දළදා වන්දනාව දින වකවානු තීන්දු කිරීමේ දි රජයේ ස්ථාවරය වුනේ අලුත් අවුරුද්දට කලින් ඡන්දය පත්වාවි කියලා. එහෙම හැකියාවක් තිබුණා. ඒ වෙනුවෙන් පළාත් පාලන පනත් සම්මත කරලා දුන්නා.”
“පනත සම්මත කළ දින වකවානුව අනුව අප්‍රේල් 10ට කලින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකිව තිබුණා. නමුත් ඔබ දකින්න ඇති විවිධාකාර දේවල් කිව්වා ඡන්දය අවුරුද්දට කලින් දානවට. අය-වැය හින්දා බෑ කිව්වා. අන්තිමට ඔවුන් අයවැයට ආවෙත් නෑ. අවුරුද්දෙන් පස්සට ඡන්දය ගියා.”
“අලුත් අවුරුද්දට කලින් ඡන්දය තිබුණා නම් සිරි දළදා වන්දනාව නිදහසේ කියන්න තිබුණා. ඡන්දය පස්සට ගියේ අපේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. විපක්ෂය කළ ඉල්ලීම් ගණනාවක් තිබුණා. ඒවත් සලකා ලබලන්න ඇති මැතිවරණ කොමිසම දින නියම කරනකොට.”
“සිරි දළදා ප්‍රදර්ශනයට සුදුසු දින වකවානු මහා නායක ස්වාමීන්වහන්සේලා සහ දියවඩන නිලමේ තුමා එකතු වෙලා තමයි නියම කළේ. ”
“පනත සම්මත කරගත්ත දින වකවානුව අනුව ඡන්දය පවත්වා ගන්න පුලුවන් වුනා නම් අලුත් අවුරුද්ත් සමරලා අවුරුද්දෙන් පස්සේ සිරි දළදා වන්දනාවට යන්න තිබුණා.”







