මනම්පිටිය නිමල් ජයරත්න –
-
සංගීත භාණ්ඩවලටත් හානි කළා… සිදුවූ සමස්ථ දේපල හානිය කෝටි 04කට වැඩියි… සංවිධායකයින් මැදිරිගිරිය පොලිසියට පැමිණිළි කරයි…
පොළොන්නරුව මැදිරිගිරිය දිවුලන්කඩවල ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී ඉකුත් 14 පැවැති සංගීත ප්‍රසංගය අතරතුර කලාකාරී ලෙස හැසිරීමින් දේවලවලට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකපිට පුද්ගලයින් පිරිසක් අද ( 16 ) උදෑසන අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි.
සැකකරුවන් මැදිරිගිරිය, දිවුලන්කඩවල, මීගස්වැව, ඇතුළු අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු විසිපහත්, තිහත් වයසේ පසුවන්නන් බවද පොලිසිය සඳහන් කරයි.
ඉකුත් 14 වෙනිදා සංගීත ප්‍රසංගයට අලුයම 1.20 ට පමණ සහභාගි වීමට සිටි ගායකයින් කිහිපදෙනෙකු සහභාගි නොවන නිසා ප්‍රසංගය අලුයම 1.30 ට අවසන් කරන බව පැවසීමත් සමඟ සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි සිටි පිරිසක් වේදිකාවේ තිබුණු සංගීත භාණ්ඩවලට ගල්මුල්වලින් ප්‍රහාර එල්ල කර වේදිකාව ඉදිරියේ තිබුණු පුටු විශාල ප්‍රමාණයක් කඩා අලාභ හානි සිදු කළහ.

සංගීත ප්‍රසංග සංවිධායකයින් සඳහන් කළේ එම පිරිස සංගීත භාණ්ඩ වලට මෙන්ම පුටු සහ අනෙකුත් උපකරණ වලට පහරදීමෙන් සිදු වූ පාඩුව රුපියල් කෝටි හතරක් පමණ වන බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ මැදිරිගිරිය පොලිසිය සඳහන් කළේ පාඩුව මෙතෙක් තක්සේරු කර නොමැති බවය.
මේ පිළිබඳව සංගීත කණ්ඩායමේ කීපදෙනෙකු සහ සංවිධායකයින් මැදිරිගිරිය පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකපිට පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව මැදිරිගිරිය පොලිසියේ නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
හබරණ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලගෙන් අප දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, මේ වනවිටත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පවතින අතර සැකපිට හය දෙනෙකු අත්අඩංගුවට ගත්තද නිශ්චිත වශයෙන් මෙම සිද්ධියට ඔවුන් සම්බන්ධද නැද්ද යන වග තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවය.







