පැය 36ක් ගතවීමට පෙර දූෂකයා අත් අඩංගුවට ගෙන සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ආරක්ෂාව සහ පහසුකම් සැලසීම සම්බන්ධව රජය තීරණාත්මකව මැදිහත් වී ඇති මොහොතක තමන්ට වැටුප් ගෙවන බදු ගෙවන ජනතාව සම්බන්ධව සහකම්පනයක් වෛද්‍යවරුන්ට තිබිය යුතු බවත්, දැනට වෛද්‍යවරුන් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ වැඩ වර්ජනය නැවත කැඳවන ලෙස ජනතාව වෙනුවෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.
ඔහු පෙන්වා දුන්නේ මුලින් ඉදිරිපත් කළ කොන්දේසි ඉක්මවා ගොස් හිටි හැටියේ ඊයේ කැඳවූ පැය 24ක වෛද්‍යවරුන්ගේ වර්ජනය කිසිසේත්ම යුක්ති සහගත නොවන බවය.
ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය.
” දිවයින පුරා පැය 24ක වෛද්‍ය වැඩ වර්ජනයක් කැඳෙව්ව වෘත්තීය සමිතිය කලින් කිව්වේ අද උදේ වෙනකොට අත් අඩංගුවට ගත්තේ නැතිනම් උතුරු මැද පලාතේ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා කියලා. ඒකත් වුනේ නැතිනම් තමයි රට පුරා වර්ජනයක් දියත් කරනවා කිව්වේ.”
“නමුත් ඊයේ රෑ හදිසියේ දැනගන්න ලැබුණා රට පුරා වෛද්‍ය වැඩ වර්ජනයක් පවත්වනවා කියලා. එකෙන් මම හිතනවා මේ වනවිට රෝගීන් බරපතල විදිහට පීඩාවට පත් වුනා. දුර බැහැර ඉඳලා රෝහල්වල සායනවලට ප්‍රතිකාර ගන්න එනකොට ඕපිඩීවලට එනකොට පාන්දර බස්වල නැගලා ඇවිත් තියනවා. ඒ අයත් අපහසුතාවයට පත් වෙලා තියනවා.”
“රජයක් ලෙස මේ සිදුවීම ඉතාම බැරෑරුම් හැටියට සලකලා ක්‍රියාමාර්ග ගනිමින් සිටියදීම මේ පැය 24ක වර්ජනයක් දියත් කිරීම යුක්ති සහගත නෑ. විශේෂයෙන්ම මේ සැකකරු අත් අඩංගුවට ගත්තට පස්සේ ඒ වැඩ වර්ජනය යළි කැඳවීමේ නතර කිරීමේ හැකියාව තිබුණා.
අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ගැන කල්පනා කරනවා වගේම අපෙන් ප්‍රතිකාර ලබා ගන්නා අපට බදු ගෙවලා වැටුප් හැටියට අපිට ඒවා ලබා දෙන ජනතාව සම්බන්ධවත් අපි සහ කම්පනයෙන් කටයුතු කළ යුතුයි. ජනතාව නිසා තමයි මේ රට ඉස්සරහට යන්නේ. මේ වැඩ වර්ජනය කැඳවීමට හැකියාවක් තියනවා නම් නැවත කැඳවන්න. මේ කාලය අරගත්තේ වෙන මුකුත් නිසා නොවෙයි, මේ රටේ මේ රජයේ රෝහල්වලට එන රෝගී ජනතාව සම්බන්ධව කම්පනයක් අපට තියෙන්න ඕන. අපි මේ සියලු වෛද්‍ය වෘත්තිකයින් හැටියට ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහාය ලබා දෙමින් ඒ සඳහා රජය මැදිහත් වෙමින් සිටින වෙලාවක මේ වැඩ වර්ජනය යුක්ති සහගත නෑ කියන එක මම ඒ අයට කියන්න කැමතියි.
අපිත් එක්ක සාකච්ඡා කරලා තීන්දු ගන්න පුලුවන්. ඔබට දැනෙන්න ඕන අප කරන වැඩවල විශ්වාසනීයත්වය. ඒ නිසා මේ වැඩ වර්ජනය නතර කරලා මේ සේවාව අපේ රටේ මහජනතාවට ලබා දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා.







