එක T-56 ගිනි අවියක් පිළිබඳ ජනතාවගෙන් ලැබෙන ඔත්තුවක් සඳහා රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිසිය කටයුතු කරන බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (22) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කීවේ මේ රජය බලයට පත් වූ පසු කළ මෙහෙයුම්වලින් T- 56 අවි 13ක්, පිස්තෝල 21ක්, රිවෝල්වර 15ක්, AK 47 අවියක්, බෙහෙත් කොටන තුවක්කු 805ක්, බෝර 12 තුවක්කු 75ක්, ගල්කටස් 10ක්, රිපීටර් 07ක්, අත් අඩංගුවට ගෙන ඇති බවය.
“තවත් අවි ආයුධ ප්‍රමාණයක් සමාජය තුළ සංසරණය වෙනවා. ඒ සම්බන්ධව අපට දැනුම් දෙනන්න. ජනතාවටත් අයිතියක් තියනවා තොරතුරු ලබා දෙන්න. කිසිවිකට බය වෙන්න එපා. රහසිගත භාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරනවා. රහසිගතව තොරතුරු ලබා දෙන්න 1997 අංකය ස්ථාපිත කරලා තියනවා.
යම් තොරතුරක් මත පදනම්ව කරන මෙහෙයුමකින් T56 ගිනි අවියක් සොයා ගත්තොත් ඒ තොරතුරු ලබා දෙන තැනැත්තාට රුපියල් ලක්ෂ 10ක ත්‍යාගයක් පිරිනමන්න රජය කටයුතු කරනවා. මහජනතාවට විශේෂ ත්‍යාග සහ ප්‍රසංශා ලබා දෙන ආකාරය විශේෂ මාධ්‍ය ප්‍රකාශයකින් අපි ප්‍රකාශයට පත් කරනවා.
මහජනතාවගෙන් තොරව පොලිසියක් නෑ. පොලිසිය කියන්නේ නිල ඇඳුම දාගත්ත පුද්ගලයන් පිරිසක් නෙමෙයි. පොලිසියට මහජනතාවගේ විශ්වාසය අවශ්‍යයයි. විශ්වාසයෙන් බැඳුන මහ ජනතාවක් නැති තැන පොලිසියක් නෑ කිව්වේ ඒකයි. යම් අවස්ථාවල අඩුපාඩු තියෙන්න ඇති. ඒවා අපි නිවැරදි කරගෙන තමයි මේ ගමන ඉස්සරහට යන්නේ. ” වැඩ බලන පොලිස්පතිවරයා පැවසුවේය.







