සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් ලබාදීමේදී අඩුම ලන්සුව ඉදිරිපත් කළ ටෙන්ඩර්කරු නොසලකා වැඩිම ලංසුව ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුට අදාළ ටෙන්ඩරය ලබාදීම නිසා රජයට රුපියල් බිලියන තුනකට අධික අලාභයක් සිදුවන බවට අධිකරණය හමුවේ ගොනුවී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා විදුලිබල හා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20 දා) නියෝග කළේය.
පෙත්සම්කාර පාර්ශ්වයේ වියදමින් ලබන 24 දාට පෙර කුරියර් සේවාව ඔස්සේ එකී නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට එස්. තුරෙයිරාජා හා සම්පත් බී. අබේකෝන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.
එකී ටෙන්ඩරය මගින් සිදුවන අති විශාල පාඩුව මෙන්ම අනෙකුත් කරුණු අනුව විශාල මහජන උනන්දුවක් ඇති බවත්, හදිසි කටයුත්තක් සේ සලකා කඩිනමින් එහි සඳහන් කරුණු තහවුරු කිරීමට දින ලබාදෙන ලෙසට පෙත්සම්කාර මිලින්ද
ප්‍රසන්න මඩුගල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.
පෙත්සමේ සියලු වගඋත්තරකරුවන්ට නොතීසි සහ පෙත්සමට අදාළ ලේඛන යැවීමට පියවර ගත් බවද නීතිඥ සුරේන් ප්‍රනාන්දු විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් දැනුම් දුන්නේය. කෙසේ නමුත් එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ දසවැනි වගඋත්තරකරු ලෙස නම්කොට තිබූ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥවරයකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර සෙසු විත්තිකරුවන් නමදෙනා හෝ ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥ නියෝජනයක් නොතිබිණි.
ඒ අනුව ඇමැති කුමාර ජයකොඩි, ලංකා විදුලිබල මණ්ඩලය, රිවිදනවි ප්‍රයිවට් ලිමිටඩ්, ලක්දනවි ලිමිටඩ්, වින්ස්පෝර්ස් ලිමිටඩ්, බ්ලු සර්කල් පුද්ගලික සමාගම, ඇතිමලේ ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම, මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල (ලේකම් විදුලිබල අමාත්‍යාංශය) හා ඩබ්ලිව්. එම්. ඩී. එල්. ප්‍රනාන්දු (කැබිනට් මණ්ඩල ලේකම්) යන වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කෙරිණි.
සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ මෙගාවොට් සියයක විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබූ බව මෙන්ම එම ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් වූ මිල ගණන් අනුව කිලෝවොට් පැයක් සඳහා ඇමරිකානු ඩොලර් 12.2 ක ටෙන්ඩරය ඉදිරිපත් කළ පෙරකී වගඋත්තරකාර සමාගමට එකී ටෙන්ඩරය ලබාදී තිබූ බව 2025.01.21 වැනිදා මාධ්‍ය මගින් තමා දැනගත් බවත්, පෙත්සම්කරු සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබිණි.
ඇමරිකානු ඩොලර් ශත 8කට කිලෝවොට් පැයක විදුලිය සැපයීමට ඉදිරිපත් වූ සමාගම නොසලකා හැරීමෙන් එම අක්රමිකතාව ආරම්භ වී තිබූ බවත් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබූ පෙත්සම්කරු ටෙන්ඩරය ලබාගත් වගඋත්තරකාර සමාගම ඇමරිකානු ඩොලර් ශත 8ක මුදලකට විදුලිය ලබාදීමට එකඟ වී ඇති බවද අධිකරණයට පෙන්වාදී තිබිණි. කෙසේ නමුත් පෙරකී මුදලට අමතරව සම්ප්‍රේක්ෂණ පහසුකම් සැපයීම වෙනුවෙන් වසර දහයක් දක්වා කාලයකට අවශ්‍ය ප්‍රතිපාදන ගෙවීමට රජය එකඟ වී ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්කරු පෙන්වා දී තිබිණි.
ටෙන්ඩරයේ සැපයුම් ගාස්තු ඇමරිකානු ඩොලර් ශත 8 දක්වා අඩු කළත්, සම්ප්‍රේෂණ පහසුකම් ගාස්තු ටෙන්ඩරය ලබා ගැනීමේදී අති විශාල ලෙස ඉහළ දැමීම නිසා රජයට රුපියල් බිලියන 3.3ක අලාභයක් සිදුවන බවත් වගඋත්තරකරුවන්ගේ එකී අනිසි ක්‍රියාව නිසා රජයට සිදුවන හානියේ අලාභය වක්‍රව ගෙවීමට සිදුවනුයේ රටේ පොදු ජනතාවට බවත් පෙත්සම්කරු එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වාදී තිබිණ. එබැවින් තමන්ගේ මූලික අයිතිවාසිකම් එමගින් උල්ලංඝනය වන්නේ යැයි තීන්දු කරනා ලෙසටද පෙත්සම්රු අධිකරණයෙන් ඉල්ලා තිබිණි. ( දිනමිණ – ඒ.ජේ.අබේනායක)







