හිරු මාධ්‍ය ආයතනය නියෝජනය කරමින් බලංගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෙස මාධ්‍ය ආවරණ කටයුතු කිරීම සඳහා පැමිණෙන SF කළු නැමැති ලියාපදිංචි අපරාධකරුව පොලිසිය සම්බන්ධ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා යෙදවීම නවත්වන්නැයි පොලිස් මූලස්ථානය හිරු ප්රවෘත්ති ආයතනය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
කලක් යුද හමුදාවේ සේවය කර ඇති දොඩම්පේ කන්කානම්ලාගේ රොහාන් ප්‍රදීප් හෙවත්, SF කළු, කළු මල්ලී, ආමි රොෂාන්, රොෂාන් යන අන්වර්ථ නාමවලින් හඳුන්වන මෙම පුද්ගලයාට සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සම්බන්ධතා ඇති බවට පොලිස් බුද්ධි අංශ වාර්තා කර ඇති බව පොලිස් මූලස්ථානය හිරු මාධ්‍ය ජාලය වෙත දැනුම් දී ඇත.
රත්නපුර, මිනුවන්ගොඩ, බලංගොඩ, කොළඹ ආදී ප්‍රදේශ ආශිතව සිදුවූ වෙඩි තැබීමක්, මංකොල්ලකෑමක්, ගිනි අවි සහ බෝම්බ ළඟ තබාගැනීම්, කපා කොටා ඝාතනය කිරීමට තැත් කිරීමක්, මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් විටෙන් විට පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් සිර දඬුවම්ද ලබා සිටින මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය මේ වන විටත් විශේෂ අවධානයකින් සිටින බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සනාථ කළේය.
එවන් තත්ත්වයක් තුළ පොලිසිය විසින් පවත්වන මාධ්‍ය සාකච්ඡා මෙන්ම පොලිස් මෙහෙයුම් ආවරණය සඳහා මෙම පුද්ගලයා අදාළ මාධ්‍ය ආයතනය නියෝජනය කර වැඩි වශයෙන් පැමිණෙන බව පොලිසිය පෙන්වා දී ඇත.
එබැවින් මෙම පුද්ගලයා පොලිසියේ මාධ්‍ය ආවරණයන් සඳහා යොදවා ගැනීමෙන් වලකින්නැයි පොලිස් මූලස්ථානය හිරු මාධ්‍ය ජාලය වෙත දැනුම් දී තිබේ.







