පසුගිය කාලය පුරාම අවධානයට ලක් වූ ආන්දෝලනාත්මක අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කරන දෙබිඩි පිළිවෙත ප්‍රශ්න කරමින් ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග එම සංගමයේ සභාපති අනුර බී මැද්දේගොඩ වෙත ලිපියක් යවා තිබේ.
ඇය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට පවසන්නේ නීතිපති කාර්යාලය නිසි ලෙස යුක්තිය ඉටුකිරීමට අසමත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දෙයාකාරයකින් ප්‍රතිචාර දක්වා ඇති බවය.
නීතිඥ සංගමය මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමේ දී ඉදිරියෙන්ම ඉන්නා බවට එම සංගමයේ සභාපති අනුර බී මැද්දේගොඩ මාධ්‍ය ඉදිරියේ කර ඇති ප්‍රකාශයක් ද මෙහිදී උපුටා දක්වමින් අහිම්සා කියා සිටින්නේ තම පියාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් වෙත නඩු පැවරීම දීර්ඝ කාලයක සිට ප්‍රමාද වෙමින් පැවතීම ප්‍රශ්න කිරීමට අනුර මැදේදේගොඩ අසමත්වී ඇති බවය. නීතිඥ සංගමයේ සභාපතිගේ යුක්තිය සඳහා වූ බව කියන කැපවීම ද ඇය විසින් ප්‍රශ්න කර ඇත.
විකෘති කරන ලද පොලිස් වාර්තා ඇතුළු වැදගත්ම සාක්ෂි නොසලකා හැරීම සහ සියලුම කරුණු සම්පූර්ණ විමර්ශනය නොකර හෝ සලකා බැලීමකින් තොරව තීරණ ගැනීම සම්බන්ධයෙන් අහිම්සා වික්‍රමතුංග නීතිපතිවරයාට ද චෝදනා කර ඇත.
ඇය තවදුරටත් ඉල්ලා සිටින්නේ නීතියේ ආධිපත්‍ය අඩපණ කළ හෙයින් නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් රැගෙන ඒම සිදුකළ යුතු බවය.
අහිම්සා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ තම පියාට පමණක් නොව, පාරින්ද රණසිංහ යටතේ නඩු වැරදි ලෙස හසුරුවා ඇති හෝ අත්හැර දමා ඇති සියලුම වින්දිතයින්ගේ යුක්තිය සඳහා දැඩි ස්ථාවරයක් ගන්නා ලෙසය.







