දිනසේන රතුගමගේ –
මහත් ආන්දෝලනාත්මක නඩු තීන්දු රැසක් ලබා දුන් වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් ස්ව කැමැත්තෙන්ම විශ්‍රාම ගොස් තිබේ.
ඔහුට තවත් වසර කීපයක් සේවය කිරීමට අවස්ථාව තිබියදී ඔහු විශ්‍රාම ගොස් ඇතත් ඊට බලපෑ හේතුන් පිළිබදව කිසිවක් මෙතෙක් ප්‍රකාශ කොට නොමැත.
නමුත් යාපනයේ ස්වේච්ඡා සංවිධාන කීපයක්ම විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා අවධාරණය කොට සිටියේ රජයෙන් ඉලන්චෙලියන් විනිසුරුවරයාට සිදු වූ දැඩි අසාධාරණයක් හේතුවෙන් ඔහු දැඩි ලෙස කලකිරී සේවයෙන් විශ්‍රාම ගොස් ඇති බවයි.
ඉලන්චෙලියන් විනිසුරුවරයාට අභියාචනා අධිකරණයේ විනිසුරුවරයෙකු වශයෙන් සේවය කිරීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සුදුසුකම් තිබියදිත් ඔහු ඊට ඉල්ලුම් කොට තිබියදීත් එම තනතුර ඔහු වෙත ලබාදීමට කිසිවෙකු හෝ මැදිහත් නොවීම නිසා ඔහු සිය සේවයෙන් ඉල්ලා විශ්‍රාම ගිය බව එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විණි.
වවුනියාවේ දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා වශයෙන් ඔහු සේවය කරමින් සිටියදී ත්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් උසස්වීමක් ලද අතර ඉන් පසුව ඔහු යාපනයේ මහාධිකරණ විනිසුරුවරයා විය. එහිදී විද්‍යා දැරියගේ නඩු තීන්දුව ඇතුළු නඩු තීන්දු රැසක විනිශ්චය ලබාදුන් ඉලන්චෙලියන් විනිසුරුවරයා උතුරේ කල් පසු වූ අපරාධ නඩු විශාල ප්‍රමාණයක් ඉතා කඩිනමින් විමසා බැලීමටද පියවර ගෙන තිබුණි. යාපනයෙන් වවුනියාවේ මහාධිකරණ විනිසුරු ධූරයට පත් ඔහු මේ වන විට සිය විශ්‍රාම අයදුම් පත අධිකරණ සේවා කොමිසම වෙත යවා තිබේ.
ඉලන්චෙලියන් විනිසුරුවරයා මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී ලබා දී ඇති ආන්දෝලනාත්මක නඩු තීන්දු නිසා ඔහුගේ ජීවිතයට තර්ජන ගණනාවක්ම එල්ල වූ අතර යාපනයේ නල්ලූර් කෝවිල පාරදී ඔහුට පිස්තෝලකරුවකු විසින් වෙඩිතැබීමක්ද සිදු කළේය.
විනිසුරුවරයා ඉලක්ක කරගෙන තැබූ වෙඩි පහරින් ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා මියගිය අතර මේ වන විටත් ඔහුගේ පවුලේ උදවියගේ බොහෝ වියදම් දරණු ලබන්නේ ඉලන්චෙලියන් විනිසුරුවරයා විසිනි.
ඉලන්චෙලියන් විනිසුරුවරයා යාපනයේ වේලනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අධ්‍යාපනය හදාරා නීති විද්‍යාලයට අතුළත් වී ඇත්තේද යාපනය දිස්ත්‍රික්කයෙනි.







