සිය ජංගම දුරකථනය උපයෝගි කරගෙන සිය පාසලේ තමන් විසින් අධ්‍යාපනය ලබා දෙන තරුණ දැරියන් අපයෝජනය කරමින් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට ගෙන්වාගෙන නින්දිත කාම අපරාධයක නිරතවුන දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක විද්‍යා ගුරුවරයෙක් සම්බන්ධව මේ වනවිට දිවුලපිටිය පොලිසිය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම අශ්ලීල ගුරා විසින් සිය විකෘති කාම ආශාවන් සංතර්පනය කරගැනීම සඳහා මව් පිය සෙනෙහස අහිමිවුන, වෙනත් ගැටලු සහිත බව පෙනෙන දැරියන්ට ලංවී ඔවුන් සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගනිමින් ඔවුන් නිරුවත් කර ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගැනීම සම්බන්ධව චෝදනා ඇති බවත්, ඔහුගෙන් අතවරයට පත් වුන දැරියන් පිළිබඳව සොයා බලා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ලංකාසර කළ විමසීමක දී පැවසීය.
මේ වනවිට මෙම ගුරා විසින් වීඩියෝ මාර්ගයෙන් අපයෝජනය කළ වින්දිත දැරියගේ පියා මියගොස් ඇති අතර මව විදේශගතව සිට පැමිණ තිබේ. දැරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම්වන 16 හැවිරිදි වියේ පසුවන්නියකි. පාසලේ වැඩ කටයුතු නිවසේ සිට කිරීමට අපහසු බැවින් ඇය සිය නැන්දනියගේ නිවසේ නැවතී සිටිය දී නැන්දනියට ඇයගේ හැසිරීම පිළිබඳ සැක සිතී දුරකථනය පිරීක්ෂා කරද්දී මෙම ගුරුවරයා දැරියගේ නිරුවත් දර්ශනද ගෙන්වාගෙන ඇයව අපයෝජනය කර ඇති ආකාරයත් ඇයව කාමරයකට රැගෙන යෑමට සිදුකරන පෙළඹවීම් සහිත වට්ස්ඇප් පණිවිඩයත් සොයාගෙන ඒ සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.
එමෙන්ම මේ ගුරා දැරියට විටින් විට මුදල් ද ලබා දී තිබේ.
එහෙත් ඛේදවාචකය වන්නේ මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය විසින් මේ අලජ්ජී ගුරා රැකගෙන වින්දිත දැරිය තවත් අපහරණයට ලක්වන ආකාරයේ පහත් හැසිරීමක් පෙන්වීමය.
මෙම දැරිය වයස අවුරුදු 16ට වැඩි බවත්, ගුරා සහ දැරිය අතර ඇතිවන සම්බන්ධය ඒ දෙපාර්ශවයේ කැමැත්ත මත ඇතිවන බැවින් ගුරුවරයාට කරදරකයක වන ආකාරයට හැසිරීම අපරාධයක් බවත්, මේ තොරතුරු කිසිවක් මාධ්‍ය ඔස්සේ පල නොකරන ලෙසත් මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තාව අපට දැන්වූවාය.
ළමා හා කාන්තා කාර්යාංශය භාර කාන්තාව පවසන්නේ ගුරා පැමිණ ඇත්තේ මේ දැරියට උදව් කිරීමට බවය. දුරකථනයෙන් කතා කිරීම හෝ පෙනී සිටීම වරදක් නොවන බවය.
කෙසේ වෙතත් මේ වනවිට අදාල විමර්ශන දිවුලපිටිය පොලිසිය වෙත භාර දී තිබේ. ගුරුවරයෙක් විසින් දරුවෙක් විකෘති ලිංගික අපයෝජනයට ලක් කිරීම අපරාධයක් ලෙසට නොව, සදාචාරාත්මක වරදක් ලෙස තේරුම් කරගත නොහැකි මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පැවැත්මෙහි අර්ථය කුමක් දැයි මේ වනවිට ප්‍රශ්නයක් මතුවෙමින් තිබේ.
සිද්ධිය සම්බන්ධව නිසි පැමිණිල්ලක්වත් සටහන් කරගෙන නැති ආකාරය හෙළිවන අතර දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති බවත් ඇය දූෂණයකට ලක් වී නැති බවත් එබැවින් ප්‍රශ්නයක් නැති බවත් මිනුවන්ගොඩ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසිය හැසිරුන නින්දිත ආකාරය සම්බන්ධ පිළිකුලක් ද සහිතව දිවුලපිටිය පොලිසියේ හැසිරීම සමස්ථ අධ්‍යාපන කලාපයම දැඩිව අවධානයෙන් බලා සිටින බව කලාප අධ්‍යාපන ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට අදාල ගුරුවරයාගෙන් අපයෝජනයට ලක් වුන දරුවන් සම්බන්ධව පාසල් මට්ටමින් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත. කලාප අධ්‍යාපන කාර්යාලය ද සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.







