මනම්පිටිය නිමල් ජයරත්න –
වර්තමාන රජය ජනාධිපති මන්දිරය ඉදිරිපිට සේම වවුනියාව, මඩකලපුව ඇතුළු ප්‍රදේශ කිහිපයක, යුද්ධය පැවැති වකවානුවේ සිට වසා දමන ලද මාර්ග විවෘත කලද, පාරම්පරික ගොවි ජනතාවක් අවුරුදු ගණනාවක් වී වගාව ඇතුළු ගොවිතැන් කටයුතු සිදුකළ පොළොන්නරුව දිඹුලාගල, දිවුලපතාන ගම්මානයට ගමන් ගන්නා මාර්ගය ආරක්ෂක අංශ යොදා වසා දමා තිබීම විශ්වාස කළ නොහැකි තත්ත්වයක් බවත්, සමස්ථ ජනතාවගේ විශ්වාසය තහවුරුකර දිවුලපතාන ගම්මානයට යන මාර්ගය විවෘත කරනලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් සඳහන් කළහ.
ප්‍රදේශයේ සිංහල දමිළ පාරම්පරික ගොවීන් පිරිසක් එම ප්‍රදේශයේ අක්කර 1500 කට ආසන්න භූමි ප්‍රමාණයක වී වගාව ඇතුළු පාරම්පරික භෝග වගාව සිදුකර තිබෙන බැවින් අස්වනු අලෙවි කරගැනීමට නොහැකි ඛේදනීය තත්ත්වයක් මෙම මාර්ගය වසා දැමීමෙන් ඇති වී තිබෙන බව උන්වහන්සේ කීහ.
අම්පාර පන්සල්ගල රජමහා විහාරස්ථානයේදී 24 වෙනිදා පස්වරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සුමනරතන නාහිමියෝ ඒ බව පැවසූහ, එමෙන්ම උන්වහන්සේ පැවසුවේ යුද්ධය නිමා කළ නායකයාගේ ආරක්ෂාව ඉවත් කිරිමප්රශ්නයක් සේම වත්මන් ජනාධිපතිවරයා තමන්ගේ ආරක්ෂාව පිළිබඳව අඩු තක්සේරුවකින් කල්පනා කිරීම ද ගැටලුවක් බවය.
“කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙලා නැහැ. ඒ නිසා අනෙක් උදවියගේ ආරක්ෂාව තහවුරු කරන ගමන්ම අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාවත් වැඩි කර ගැනීම ගොඩක් වටිනවා, ” උන්වහන්සේ කීය.







