ජනාධිපතිවරයාගේ අතුරු සම්මත ගිනුමට වෙන් කරගෙන ඇති මුදල සම්බන්ධව දැන දැනම කරන චෝදනාව සම්බන්ධව රජය කලබල නොවන බවත්, අතුරු සම්මත ගිනුමකින් වෙන් කරන මුදල සියල්ලම වියදම් කරන බවට පූර්ව නිගමනයක සිට විවාද කිරීම නොකළ යුතු බවත් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ජනාධිපති වැය ශීර්ෂය සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පසුගිය වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ වෙන් කරගත් රුපියල් ට්‍රිලියන 3.1ක මුදලම වෙන් කරගෙන තිබීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
“අතුරු සම්මත මුදලින් මුදල් වෙන් කරන්නේ අවදානමක් ඇති වේයැයි සැක සිතන දේවල් සඳහා. ඒ ඔක්කොම වියදම් කිරීමක් කරනවා කියල හිතාගෙන විවාද කරන්නේ නෑ අපි කවදාවත්. අය වැයෙන් වෙන්වන මුදල් සියල්ල වියදම් කරනවා කියලා හිතලා විවාද කරන්නෙ නෑ අපි කවදාවත්. ඒක මේ පාර්ලිමේන්තුවේ මූල්‍ය කළමනාකරණය ගැන දැනුමක් තියන කුහක නොවන හැමෝම දන්නවා. අතුරු සම්මත ගිනුමක් ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවෙන් මුදල් සම්මත කරලා නැති නිසා ඉතිරි කාලය තුළ අවදානමට.
ඔබ කිව්වා ජනාධිපති තුමාගේ වැය ශීර්ෂයට අච්චර වෙන් කරගෙන මෙච්චර වෙන් කරගෙන කියලා. නමුත් 2024 අයවැයෙන් වෙන් කරලා තියන මුදල්වලින් කමිට්මන්ට් පීස් අඩු කරගත්තොත් අපට, ඒව ගෙවාගෙන බේරගන්න පුලුවන් වුනොත්… අපේ හැම අමාත්‍යාංශයකම, හැම ආයතනයකම අපට සැලකිය යුතු මුදලක් ඉතිරි කරගන්න පුලුවන්.
කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා ඊයේ … රජයේ අමාත්‍යාංශ සියල්ලටම සාමාන්‍ය භාවිතය තමයි දෙසැම්බර් අවසන්වනවිට ඉතිරිවන මුදල් වෙන වෙන වැය ශීර්ෂවලට මාරු කරලා අනවශ්‍ය වියදම්වලට දාන එක. අපි කැබිනට් මණ්ඩලය තීරණයක් අරන් තියනවා ඒ මුදල් සියල්ල භාණ්ඩාගාරයට එවන්න කියලා.
ඒවයෙන් යම් ප්‍රමාණයක් අපට ඉතිරි කරගන්න පුලුවන් වුනොත්, නාස්තිකාර වියදම් වලින් ඉතිරි කරගන්න පුලුවන් වුනොත් එය රටට යහපතක් වේවි. ඒකට ජනාධිපතිවරයාම අවශ්‍ය ආදර්ශය දීලා තියනවා. ඒක ඔබතුමා දන්නවා විෂය භාර ඇමතිවරයෙක් ලෙස ඇත්ත තත්ත්වය.







