පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව වභාගය නැවත පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස සහ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංග්ප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ යළි සලකා බැලීමට කැඳවූ අවස්ථාවේ දී ය.
ශිෂ්‍යත්ව විභාගයේ පළමුවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කර එම ප්‍රශ්නපත්‍රය යළි පැවැත්වීම පිළිබඳ ඇති හැකියාව සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා ඇතුළු වගකිවයුතු බලධාරීන්ගෙන් කරුණු විමසා අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්නට පසුගිය නොවැම්බර් 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
ඒ අනුව අද දින පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ විමසීමට මෙම පෙත්සම යළි කැඳවනු ලැබුවේය.
මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පවසා සිටියේ ඉකුත් 26 වැනිදා රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙම කරුණට අදාලව නිර්දේශ කීපයක් ඉදිරිපත් කර ඇති බවය.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ බව කියැවෙන ප්‍රශ්න තුන සඳහා විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුනු ලබා දීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බවට ඔහු දැනුම් දුන්නේය.
ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත් වීමට ඉඩ ඇති බැවැන් විභාග යළි පැවැත්වීම නුසුදුසු බවට ද අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර තිබෙන බව සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.
ඔහු පෙන්වා දුන්නේ ප්‍රශ්න සහගත මෙම ප්‍රශ්නපත්‍රය යළි පැවැත්වීමට යෑම තුළින් විභාග දෙපාර්තමේන්තුවේ විභාග කාල සටහන ද අවුල් වනු ඇති බවය.
නැවත විභාගය පැවැත්වීම තුළින් හය වැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලිය
ප්‍රමාද විය හැකි බව ද සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.







