මනම්පිටිය නිමල් ජයරත්න –
අම්පාර මහඔය පොළොන්නරුව ප්රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්රදේශයේ 26 වෙනිදා උදෑසන පාලමක් සම්පූර්ණයෙන්ම කැඩීයාම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට පොළොන්නරු දිස්ත්රික් ආපදා කළමනාකරන කාර්යාලයේ සඳහන් කරයි.
ඒ අනුව අම්පාර මහඔය පොළොන්නරුව ප්රධාන මාර්ගය අරලගංවිල ප්රදේශයෙන් වසා දැමීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත්රික් ආපදා කළමනාකරන සහකාර අධ්යක්ෂ රංජිත් අලහකොන් මහතා අප කළ විමසීමේදී සඳහන් කළේය.
පොළොන්නරුව දිස්ත්රික්කයට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත්, මහවැලි සී කලාපය ඇතුළු ඉහළ ප්රදේශවලට පවතින වර්ෂාවෙන් ගලා එන ජලයේ සැඩ පහරට මෙම පාලම කැඩි ගොස් ඇති අතර ඒ සඳහා විකල්ප මාර්ගය තිබුණද එම මාර්ගවලටද ගස් පෙරළී තිබීම හේතුවෙන් වාහන ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් අඩපණ වී ඇති බවද ඒ මහතා කීය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව ලක්ෂ උයන ප්රදේශය හරහා හමා ගිය ටොනඩෝ සුළඟින් නිවාස පහළොවකට පමණ හානි සිදුවී ඇති බවද අලහකෝන් මහතා පැවසීය.
මීට අමතරව, මහවැලි ගග මනම්පිටිය ප්රදේශයෙන් පිටාර ගැලීමෙන් පොළොන්නරුව මඩකලපුව ප්රධාන මාර්ගයේ මනම්පිටිය, ගල්ලෑ ල්ල ප්රදේශයේ සහ මනම්පිටිය ප්රදේශය අඩි භාගයක් පමණ ජලයෙන් යට වී තිබෙන අතර වැලිකන්ද නාමල්ගම ප්රදේශයද ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමට බාධා එල්ල වී ඇති බව පොළොන්නරුව දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.







