-
මේ යෝජනාව කරලා දීර්ඝ කාලයක්… ඒත් කිසිම රජයකින් කිසිම ප්‍රතිඵළයක් නෑ,… ආනමඩුවේ හිමියෝ මේ රජයෙන්වත් විසඳුමක් ඉල්ලති…
භික්ෂූන් වහන්සේලාගේ චර්යාත්මක දුර්වලතා සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්රමුඛ කාරක සංඝ සභා මගින් ගන්නා තීන්දු තීරණ අධිකරණය මගින් ක්‍රියාත්මක කර දඩුවම් ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා විහාර දේවාලගම් ආඥා පනතට සංශෝධන ගෙන එන ලෙස අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නා හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති.
බුද්ධ ශාසන ඇමති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී ලාල්කාන්ත ඇමතිවරු සිකුරාදා (22) අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දි ධම්මදස්සී නා හිමියෝ මේ ඉල්ලීම නව රජයෙන් සිදුකළහ.
පසුගිය රජයන් ගණනාවකට මෙම යෝජනාව ඉදිරිපත් කළ නමුත් ඒ කිසිවක් මෙතෙක් එම ඉල්ලීම ඉටු වී නැතිබව පෙන්වා දුන් අනු නා හිමියෝ ඇතැම් භික්ෂූන් වහන්සේලා ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාජය තුළ ඇති බරපතළ විවේචන අරභයා සංඝ සභා මගින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට නීතිමය බලයක් අධිකරණය මගින් ලබා ගැනීම සඳහා වන වැඩපිළිවෙළක අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ පවතින බව අවධාරණය කළහ.
“භික්ෂූන් වහන්සේලාගේ චාර්යාවන් සම්බන්ධයෙන් මතුවන ගැටලු වලට විසඳුම් සෙවීම සදහා ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පසුගිය කාලය තුළ විවිධ යෝජනා ඉදිරිපත් කළා. එක වෙලාවට කථිකාවත් ගේන බව කියනවා. තවත් වෙලාවක විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කරන බව කියනවා. ඒ සඳහා කමිටු දානවා. මේ කමිටුවලින් වැඩේ දික්ගැහෙනවා මිස ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ.”
“පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කරනවාට වඩා මේ අවස්ථාවේ බරපතළම ගැටලුව වන භික්ෂූන් ගේ චර්යාවන් නිසා මතුවන ප්‍රශ්න සඳහා විසඳුමක් ලබාදීමට හැකිවන ලෙස සංශෝධනයක් ගෙන එන ලෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ ගැන විශේෂ අවධානයක් යොමුකර වත්මන් රජය කඩිනමින් ඒ සඳහා විසඳුමක් ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ”
මෙහි දී අදහස් දැක්වූ ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන් පෙන්වා දුන්නේ වසර 2012 සිට බුද්ධ ශාසනයට වැදගත් වන සංශෝධන සඳහා යෝජනා හතරක් ඉදිරිපත් වුවත් මේ දක්වා එම යෝජනාවල සඵලතාවයක් නොදුටු බවය. හිටපු බුද්ධශාසන ඇමැතිවරයා සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණ බව ලේඛකාධිකාරී හිමියෝ දැන්වූහ.
“එතුමා කතාවට දක්ෂ වුණත් කියන දේවල් නෙවෙයි කළේ. ” මැදගම හිමියෝ කීහ.







