පාස්කු ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාවේ විකාශය වුන වැඩසටහනක ප්‍රකාශ වූ තොරතුරු සම්බන්ධව කරන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (22) දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.
පෙරේදා (20) දිනයේත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබා දුන්නේය. එහිදී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පවසා ඇත්තේ දමිළ භාෂාවෙත් සිය ප්‍රකාශය ලබාදීමට අවශ්‍ය බවය. ඊට අදාළ භාෂා පරිවර්තන කටයුතු සූදානම් කිරීමෙන් පසු අද දිනයේ යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිල්ලෙයාන් කැඳවා තිබේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ දැනට ස්විට්සර්ලන්තයේ රැඳී සිටින අසාද් මවුලානා නැමැත්තෙක් චැනල් 4 නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මෙම ප්‍රහාරයට පිල්ලෙයාන්ගේ මෙන්ම මෙරට ආරක්ෂක බුද්ධි ප්‍රධානීන්ගේ සම්බන්ධය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.
විනාඩි 50ක් තිස්සේ විකාශයවුන අදාල වීඩියෝවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සොයාබලන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබී තිබු අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේය.
ඒ අනුව එකී විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඉකුත් 12 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණත් පිල්ලෙයාන් ස්වකී නීතිඥයින් හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට වෙනත් දිනයක් ඉල්ලා තිබිණි. පෙරේදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්නේ ඉන් අනතුරුවය.







