බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මින් මතු දේශපාලන සටන් පාඨ හරහා ජාතිවාදය අවුලුවන්න හදන්න එපා… ඊට ඉඩක් නෑ… ජනපති රාජාසන කතාව කරමින් අවධාරණය කරයි.

by editor
නොවැම්බර් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නීතියේ විධානය සහ ආධිපත්‍ය ස්ථාවර කරමින් නීති ගරුක රටක් බිහි කරන බවත් කිසිම ප්‍රධාන පෙළේ අපරාධයක් කාලයේ වැලි තලා යට සැඟවී යාමට ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක 10 වැනි පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පවත්වමින් අවධාරණය කළේය. නීතිය ක්‍රියාත්මක වනවිට එය හඹා ගොස් පලිගැනීමක් ලෙස අර්ථ නොදක්වන ලෙස ද ජනාධිපතිවරයා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම මේ තාක් ජාතිවාදී ආගම්වාදී ගැටුම්වලින් ගලා ගිය රුධිර ගංගා හොඳටම ප්‍රමාණවත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලන අරමුණු සඳහා ජාතිවාදය සහ ආගම්වාදය අවුලුවන ප්‍රකාශන ජනගත කිරීමේ දේශපාලනය මෙතැන් සිට නිමා කරන බව ද දැඩිව කීවේය.

රටේ සෑම ජනතා නියෝජිතයෙකුගේම පරමාර්ථය යහපත් සමාජයක් නිර්මාණය කිරීම බව තමන් විශ්වාස කරන්නේ යැයි කී ජනාධිපතිවරයා රට ගොඩනැගීමේ ප්‍රවේශයට එක්වන ලෙස විපක්ෂයට සාධනීය ආරාධනාවක් කළේය.

රාජාසන කතාව පවත්වමින් ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේ.

අද දිනය අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාම සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අපේ රටේ දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් අතර හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී එම දේශපාලන බලය අලුත් කඳවුරක්, එනම් අපි වෙත එම දේශපාලන බලය අප වෙත ලැබුණා.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එය ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉතාම සුවිශේෂී අවස්ථාවක්. ඒ ජනවරම විශාල කරුණු ගණනාවකින් සමන්විත වී තිබෙනවා. අපේ රටේ ගොඩනැගුන මේ ඡන්ද ක්‍රමය යටතේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් මේ ජන වරම විසින් ලබා දී තිබෙනවා. එය ප්‍රමාණාත්මක අගයක්.

නමුත් ඒ ප්‍රමාණාත්මක අගය ඉක්මවා යන ගුණයක් මේ ජනවරම තුළ තිබෙනවා. ඒ තමයි දීර්ඝ කාලයකට පසුව ලංකාවේ දේශපාලන පරිවර්තනයක් නව ආණ්ඩුවක් ගොඩනගා ගැනීම වෙනුවෙන් උතුර ද දකුණ ද නැගෙනහිර ද බටහිර ද ආදී සියලු පළාත් සියලු ජන කණ්ඩායම් මෙම ජනවරමට දායක වී තිබෙනවා.

ජන වරමේ බර

මා හිතනවා දීර්ඝ කාලයක් අපේ රටේ දේශපාලන ව්‍යුහය දේශපාලන බල කඳවුරු ගණනාවක් ගොඩනැගී තිබුණේ සමහර විට පළාත් ලෙස. සමහර අවස්ථාව ජාතිකත්වය අනුව අදහන ආගම් අනුව දේශපාලන බල කඳවුරු ගොඩනැගී තිබුණා. ඒ නිසා එවැනි දේශපාලන බල කඳවුරුව අවසන් ප්‍රතිඵලය පන්නේ ජනතාව එකිනෙකාගෙන් දුරස් වීම, ජනතාව එකිනෙකා අතර සැකය අවිශ්වාසය වර්ධනය වීම. ජාතිවාදය යම් දේශපාලන කඳවුරක න්‍යාය පත්‍රය බවට පත් වෙනවා නම් එහි අනිවාර්ය ප්‍රතිඵලය තමයි ඊට එරෙහිව නැවත අනෙක් පාර්ශවයෙන් ජාතිවාදයක් පෝෂණය වීම.

ජාතිවාදය එක තැනක පවතින්නේ නෑ. එක් ජාතිවාදයක් විසින් අනෙක් ජාතිවාදය පෝෂණය කරනවා. වර්ධනය කරනවා. එය දිගු ඉතිහාසයක් අපේ රටේ දේශපානයෙත් සමාජයේත් අප අත්විඳලා තියනවා. නමුත් සියලු ජන කණ්ඩායම සියලු පළාත්වල වෙසෙන ජනතාව අප වෙත විශ්වාසය තබලා අප වෙත බලය ලබා දීලා තියනවා. ඒ විශ්වාසය තැබූ ජනතාවට පළමුකොට අපේ ගෞරවය ස්තුතිය පුද කරන්න කැමතියි.

ඒ වගේම අප කෙරෙහි විශ්වාසය නොතැබුවත් වෙනත් දේශපාලන ව්‍යාපාරයක් කෙරෙහි විශ්වාසය තබලා තියන ජන කණ්ඩායම් ඉන්නවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය. ප්‍රජාතන්ත්‍රවාදය යනු තනි පක්ෂයක් වටා තනි මතයක් වටා සියලු ජනතාව ඒකරාශී කිරීම නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ගති ලක්ෂණය විවිධ  මතවාද දරන දේශපාලන කඳවුරුවල පැවැත්මයි. විවිධ ආර්ථිකමය දේශපාලනමය ප්‍රතිපත්ති මත ගොඩනැගෙන දේශපාලන කඳවුරුවල පැවැත්ම. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස තනි පක්ෂ පාලනයක් කිසිසේත් අපේක්ෂා කරන්නේ නෑ. අපි අපේක්ෂා කරන්නේ බහු පක්ෂ දේශපාලනය. එය ප්‍රතිපත්තිමය ලෙස අප පිළිගනු ලබනවා.

ඒ නිසා අපට ඡන්දය නුදුන් විශාල ජනතාවක් ඉන්න බව අපි දන්නවා. අපේ ආණ්ඩුවෙ වගකීම තමයි අපට ඡන්දය දුන් ඡන්දය නුදුන් සෑම ජන කණ්ඩායමක්ම මේ රටේ පුරවැසියන්. ඒ පුරවැසියන්ගේ උවමනාවන්, බලාපොරොත්තු ඉටු කිරීම අපේ වගකීමක්. ඒ නිසා මා සහ අපේ රජය ඒ ජනතා උවමනාවන් ඉටුකරන්න බැඳී සිටිනවා. වග වෙනවා.

ජනතාව සහ අපි අතර මැතිවරණයේ දි බැඳිමක් ඇති වෙනවා. ඒ බැඳීම තමයි අප විසින් ඔවුන්ට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ අපේ අදහස් හරහා අපේ අනාගතය කෙසේ විය යුතුද කියලා කරුණු ඉදිරිපත කරනවා. ඒ කෙරේ විශ්වාසය තබන ජනතාව අපට ඡන්දය ලබා දෙනවා. ජනතාවගේ බැඳීමේ ඔවුන්ගේ පංගුව ඉටු කර හමාරයි. ඔවුන් අපට බලය ලබා දී හමාරයි. දැන් අපට තියෙන්නේ ජනතාව වෙනුවෙන් අපේ පංගුව ඉටු කිරීම. ඒ නිසා මාත් අපේ රජයත් අපේ ජනතාව අතර තියන බැඳීම උල්ලංඝණය වෙන්න කිසිසේත්ම ඉඩ නොදී මෙම පාලනය පවත්වාගෙන යන්න බැඳී සිටිනවා. ඒ පිළිබඳව වග වෙනවා.

මින් පසු ජාතිවාදී දේශපාලනයට ආගම්වාදි දේශපාලනයට ඉඩක් නෑ

ඒ වගේම මේ මැතිවරණයේ දී ගොඩනැගුන අප පළාත් වශයෙන් දුරින් සිටියට සංස්කෘතික වශයෙන් වෙනස් අනන්‍යතාවයන් තිබුණට , භාෂාමය වශයෙන් අප වෙනත් භාෂාවන් කතා කළාට ආගමික වශයෙන් අපි වෙනස් ආගම් ඇදහුවාට අප එක අරමුණකට ගොඩනැගුන බව,  අරමුණක් වෙනුවෙන් පෙළ ගැසුන බව මේ මැතිවරණයේ දී පෙන්නුම් කොට තිබෙනවා. ඒ නිසා අපේ රටේ දීර්ඝ කාලයක් ජනතාවගේ ප්‍රාර්ථනයක් බවට පත් වුන ජාතික සමගිය ගොඩනැගීමේ ඉතාමත් ප්‍රබල අවස්ථාවක් දැන් නිර්මාණය වී තිබෙනව. අපට දේශපාලනිකව වෙනස් මති මතාන්තර දරන්න පුලුවන්. නමුත් මම එකක් ඔබට වගකීමෙන් කියනවා. යළි අපේ රටේ ජාතිවාදී දේශපාලනයට ඉඩ දෙන්නෙ නෑ.

ඒ වගේම කවර පන්නයේ හෝ ආගමික අන්තවාදයක් හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ.

අපි ඇති පමණට ජාතිවාදී ගැටුම්වලින් පීඩාවට පත් වූ ජනතාවක්. මේ මහ පොළොව ඇති තරම් ලේ වලින් තෙත් වෙලා තියනවා. ගංගා පිරෙන්න කඳුළු ගලලා තියනවා. එකිනෙකා අතර සැකය අවිශ්වාසය ක්‍රෝධය ඇති තිරම් වර්ධනය වී තිබෙනවා. අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ වගකීම තමයි අපේ අනාගත පරම්පරාවට එවැනි රාජ්‍යයක් නිර්මාණය නොකිරීමේ වගකීම අප සතුව තිබෙනවා.

දේශපාලනය කිරීම සඳහා අපට ඕනෑ තරම් සටන් පාඨ තියෙන්න පුලුවන්. ඒවා ආර්ථිකමය සටන් පාඨ, ප්‍රාජාතන්ත්‍රවාදීමය සටන් පාඨ ඕන තරම් තියෙන්න පුලුවන්. හැබැයි කිසිවෙක් අපේ රටේ යලි දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතිවාදී ආගම්වාදී සටන් පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බවට මම ඔබට සහිතක කරනවා.

දේශපාලන සංස්කෘතිය වෙනස් කර හදන ගෞරවනීය පාර්ලිමේන්තුවක්!

ඒ වගේම මේ ජන වරමේ තවත් ප්‍රධාන අපේක්ෂාවක් තිබුණා. ඒ අපේක්ෂාව තමයි අපේ රෙට් දීර්ඝ කාලයක් ගොඩනැගෙමින් ආපු මේ අයහපත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ උවමනාව තිබුණා. මා මේ පාර්ලිමේන්තුව නියෝජනය කළේ 2000 වසරෙ දි. මම මේ පාර්ලිමේන්තුව අවුරුදු 24ක් අඛන්ඩව නියෝජනය කර තිබනෙවා. නමුත් ඒ අවුරුදු 24 තුළ මගේ ප්‍රායෝගිකව මගේ ඇස්වලින් මම දැකලා තියනවා මේ පාර්ලිමේන්තුව පිරිහීමට ලක් වූ ආකාරය. මේ පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳවැටුන ආකාරය. ඒවා අපි ප්‍රායෝගිකව අත් විඳලා තියනවා. මේ සභාගර්භය තුළත් මේ සභා ගර්භයෙන් පිට පොදු ජනතාව තුළත් මේ පාර්ලිමේන්තුව කෙරෙහි තිබුණු ගෞරවය ක්‍රමානුකූලව කඩා වැටුන හැටි ඒ උත්තරීතර ගරු කළ යුතු තැනක සිට ජනතාවට සතුරු ජනතාව පලවා හැරිය යුතු ජනතාවගේ ක්‍රෝධයට වෛරයට අවඥාවකට ලක් විය යුතු තත්ත්වයකට පත් වී තිබෙනවා. මා හිතන්නේ නෑ එහෙම පාර්ලිමේන්තුවක් අපේ රට පාලනය කිරීමට සුදුසුයි කියලා. එවැනි පාර්ලිමේන්තුවක් තව දුරටත් අපේ රටේ ජනතාවට නායකත්වය දීමට සුදුසු නෑ. එවැනි පාර්ලිමේන්තුවක් තව දුරටත් අපේ රටේ ජනතාවගේ මූල්‍ය බලය හැසිරවීමට සුදුසු නෑ. එවැනි පාර්ලිමේන්තුවක් තව දුරටත් ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කිරීමට සුදුසු නෑ

එහෙනම් මොකක්ද කළ යුතු වන්නේ. ජනතාවගේ මූල්‍ය බලයේ ප්‍රධාන හැරවුම තියන පාර්ලිමේන්තුව, ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන ප්‍රධාන අයිතිය තිබෙන පාර්ලිමේන්තුව තව දුරටත් ජනතාවගෙන් විතැන් වුන ජනතාවගෙන් ඈත් වුන පාර්ලිමේන්තුවක් බවට පත්වීමට කිසිසේත්ම ඉඩ දිය යුතු නෑ

ඒ නිසා මේ ජන වරම තුළ ප්‍රධාන වශයෙන් තියනවා මේ පාර්ලිමේන්තුවේ ගෞරවය සහ පාර්ලිමේන්තුවෙ උත්තරීතරභාවය ආරක්ෂා කරන්න. මා හිතනවා මේ පාර්ලිමේන්තුව අද සමන්විත වන්නේ අලුත් මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයකින්. ඒ නිසා යහපත් පුරුදු වේගයෙන් පුරුදු කරන්න පුලුවන් පාර්ලිමේන්තුවක් මේක.

පාර්ලිමේන්තුව තවදුරටත් සැඟවුන ගුහාවක් නොවෙයි

මා හිතනවා අපේ වර්ථමාන කථානායකතුමත්, විශේෂ කාර්ය මණ්ඩලයත්, තේරී පත් වී සිටින ඔබතුමාලත් ඇතුළු සියලු දෙනා යළි මේ පාර්ලමේන්තුව අළුත් ගුණයකින් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සහාය ලබා දේවි කියලා. එසේ සහාය ලබා නොදෙන්නේ නම් තවදුරටත් මේ පාර්ලිමේන්තුව ජනතාවට සැඟවුන ගුහාවක් නොවේ. මේ පාර්ලිමේන්තුවේ ඇති තරමටම නූතනයේ මාධ්‍ය තාක්ෂණයේ ඇති වී තිබෙන දියුණුව අනුව දිනපතා සිදුවන හැම සිදුවීමක්ම මහජනයාට විවෘතයි. තවදුරටත් මහජනතාවට හොරෙන් මහජනතාවට සැඟවුන මධ්‍යස්ථානයක් බවට මේ පාර්ලිමේන්තුව පත් වන්නේ නෑ. අපි තව තවත් උත්සාහ කරමින් ඉන්නේ මේ පාර්ලිමේන්තුව මහජනතාවට විවෘත මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. අපි හැම දෙනාම මහජනයාගෙ නියෝජිතයො නම් අප නිරන්තරයෙන් අපේ හැසිරෙන විදිහ, අප කතා කරන දේ මේ සියල්ල මහ ජනයා ඉදිරියේ පරික්ෂාවට භාජනය වනවා කියන ස්ථාවරයක අප සිටිය යුතුයි. අප කවරහෝ කෙනෙක් කල්පනා කරනවා නම් අපට බලය ලබා දුන්නට පස්සේ එය අවසානයි කියලා එය අවසානය නොවෙයි. ඔවුන්ට ඊලඟ ඊලඟ බල හුවමාරුවක් තෙක්, ඊලඟ ජන වරමක් තෙක් අපව පරීක්ෂා කිරීමේ බලයක් මහජනතාවට තියනවා.

ඒ නිසා මා හිතනවා මේ පාර්ලිමේන්තුව ඇතුළත මහජනයාගේ පරීක්ෂාවෙන් සමත්වෙන පාර්ලිමේන්තුවක් බවට පත්විය හැකියි කියලා. ඒ සඳහා ගරු කතා නායක තුමාගේ මන්ත්‍රිවරුන්ගේ දායකත්වය මා බලාපොරොත්තු වෙනවා.

ගුණාත්මක රාජ්‍ය සේවයක්

ඊලඟ විශේෂයෙන්ම මේ ජනවරම තුළ දන්නවා ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවකයින් වැඩිම ප්‍රමාණක් ආණ්ඩුවක් වෙත ඡන්දය දුන්න මැතිවරණයක් මේක. අපේ රටේ රාජ්‍ය සේවය කෙරෙහි පොදු ජනතාවගේ තිබෙන්නෙ යහපත් චිත්‍රයක් නොවෙයි. පොදු ජනතාව තුළ රාජ්‍ය සේවය කෙරෙහි අයහපත් චිත්‍ර විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නිරතවන අය දිහා බැලුවත් ඒ පිළිබඳව තමන්ගේ රාජකාරිමය ජීවිතය පිළිබඳව තෘප්තියක් නෑ. ඒ නිසා ඉතිරිව තිබෙන්නේ ජනතාව සතුටට පත්නොවන රාජ්‍ය සේවයක් සහ සේවයේ යෙදෙන අය තෘප්තිමත් නොවන රාජ්‍ය සෙවයක්. ඒ නිසා අපේ පූර්ණ වගකීමක් තමයි තෘප්තිමත් රාජ්‍ය සේවයක් දෙපාර්ශවයටම. ජනතාවට සහ එහි වැඩකරන අයට. ඒ නිසා මේ ජනවරමින් පෙන්නුම් කර තිබෙන්නේ යහපත් රාජ්‍ය සේවයක් සඳහා අප විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ අප විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිසංස්කරණවලට ඔවුන්ගේ ඇති පක්ෂපාත්තිවය. අපට ශක්තිමත් යහපත් රාජ්‍ය සේවයකින් තොරව අපට ඉදිරියට යන්න පුලුවන් කියලා අප විශ්වාස කරන්නේ නෑ. ලෝකයේ සෑම රටකම අලුත් හැරවුමක් ලබා ගැනීමේදී දේශපාලන නායකත්වයේ මගපෙන්වීම වගේම රාජ්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය වැදගත් දේශපාලන අධිකාරීන්ට කවර ප්‍රමාණයේ අපේක්ෂාවන් ඉලක්කයන් තිබුණත් ඒ අපේක්ෂාවන් බලාපොරොත්තු සහ ඉලක්කයන් තිබුණත් ඊට ලඟා විය හැක්කේ  ඊට අනුගතවන රාජ්‍යසේවයක් තිබුනොත් විතරයි. ඒ නිසා අප විශ්වාස කරනවා කාර්යක්ෂම රාජ්‍යසේවයක්, මහ ජනතාවගේ හිත සුව පිනිස වැඩ කරන රාජ්‍ය සේවයක් මේ රටේ යළි ස්ථාපිත විය යුතුයි කියලා. ඒ සඳහා රාජ්‍ය සේවයකයින් තුළින්ම ප්‍රබල ජන වරමක් අපට ලබා දී තිබෙනවා. ඒ පිළිබඳව අප අවධානය යොමු කොට තිබෙනවා.

සෑම ජනකොටසකමට ගෞරවණීය ජීවිතයක්

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස – සෑම පුරවැසියෙක්ම තමන් කතා කරන භාෂාව, තමන් අදහන ආගම, තමන්ගේ සංසකෘතිය අනුව හුදකලාවීමකට ලක් විය යුතු නෑ. තමන් අදහන ආගම තමන්ට අතිරේක පීඩනයක් ඇති කරනවා කියන අදහස ඇතිවිය යුතු නෑ. තමන්ගේ සංස්කෘතිය තමන්ට අතිරේක පීඩාවක් ඇතිකරනවා කියන හැඟීම ඇති විය යුතු නෑ. තමන් නියෝජනය කරන දේශපාලනය තමන්ට අතිරේක පීඩාවක් ගෙන දෙනවා කියන හැඟීම ඇතිවිය යුතු නෑ. දේශපාලනික වෙනස්කම් වෙන්න පුලුවන්. තමන්ගේ අනන්‍යතාවයන් තියෙන්න පුලුවන්. නමුත් නිදහස කියන එක අපි හැම දෙනාටම පොදු දෙයක්. ඒ නිසා හැම දෙනාටම බියෙන් සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බිහි කිරීම අපේ වගකීම. ඒ වගකීම අප ඉටු කරන බව අප ඔබට සහිතක වෙනවා.

මෙතැන් සිට කිසිම දේශපාලකයෙක් හෝ අධිකාරි බලයක් ඇති අයෙක් නීතියට උඩින් නෑ…

ඒ වගකීමේ ප්‍රධාන කොටසක් තමයි රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම. නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු වන්නේ මේ පාර්ලිමේන්තුව තුළ සකස් කරන නීතිවලින් පමණක් නොවෙයි. මේ පාර්ලිමේන්තුව දීර්ඝ විවාද හරහා ප්‍රගතිශීලී ශක්තිමත් නිති අපි සංම්පාදනය කර තිබෙනව. හැබැයි නීති සම්මත කිරීම ප්‍රමාණවත් නෑ. ඒ නීති නිසි පරිදි ක්‍රියාවේ යෙදවිය යුතුව තිබෙනවා. ඒ වගේම ජනතාවට නීතිය ක්‍රියාත්මක වනවායැයි හැඟීමක් ඇතිවිය යුතුව තිබෙනවා. නමුත් පසුගිය කාලය පුරා අපේ රටේ සිදුවී ඇති දේ තමයි නීතිය පිළිබඳ විශ්වාසය ජනතාවගෙන් බිඳවැටී තිබෙනවා. තමන්ට යම් අසාධාරණයක් සිදුවනවිට නීතිය ඉදිරියට ගොස් සාධාරණය ඉටු කරගතහැකිය යන විශ්වාසය බිඳවැටි තිබෙනවා. තමන්ට යම් අයුක්තියක් සිදුවුනාම ඒ අයුක්තිය විසඳා ගැනීම සඳහා නීතියේ පිහිට පැතිය හැකිය යන විශ්වාසය බිඳවැටී තිබෙනවා. ඒ කියන්නේ පොදු ජනතාව තුළ නීතියේ සහ විධානයේ ආධිපත්‍ය පිළිබඳ විශ්වාසය බිඳවැටී තිබෙනවා.

නීතියේ සහ විධානයේ ආධිපත්‍ය ශක්තිමත් කිරිමකින් තොරව යහපත් රාජ්‍යයක් බිහිකිරිම සඳහා කිසිසේත්ම හැකියාවක් ලැබේවියැයි අප විශ්වාස කරන්නේ නෑ. යහපත් රාජ්‍යයක් ගොඩනගනවා නම් නීතියේ විධානයේ අධිපත්‍ය තහවුරු විය යුතුයි. ඒ නිසා අපි රාජ්‍යයක් හැටියට ජනාධිපතිවරයා ලෙසත් අපේ ආණ්ඩුව ලෙසත් අපි මේ නීතියට යටත් . කිසිම දේශපාලකයෙක් හෝ අධිකාරී බලයක් ඇති කිසිම කෙනෙක් මින් පසු නීතියට උඩින් සිටින්නේ නෑ. හැම දෙනාම නීතියට යටත්ව සිටිය යුතුයි.

ඒ වගේම නීතිය පිළිබඳව ජනතාවගේ බිඳවැටුන විශ්වාසය නැවත තහවුරු කළ යුතුයි. එතැනදි කිසිසේත්ම අපට කිසිවෙකුගෙන් පලි ගැනීමේ කිසිවෙක් හඹා ගොස් දඩයම් කිරීමේ උවමනාවක් අපට නැහැ. හැම කෙනාටම නිදහසේ තමන්ගේ දේශපාලනය කිරීමේ අයිතිය තහවුරු කරනවා. හැබැයි ලංකාවේ ආන්දෝලනයට තුඩු දි තිබෙන අපරාධ විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපරාධකරුවන් කල්පනා කරනවා නම් ඒවා කාලයේ වැලිතලාවෙන් යටපත් වෙලා අවසන් කරන්න පුලුවන් කියලා ඒ නීතිය පිළිබඳ ජනතාවගේ තිබෙන විශ්වාසය බිඳවැට්ටීමක්. නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න නම් ආන්දෝලනයට ලක් වී ඇති අපරාධයන් පිළිබඳව යලි විමර්ශනය කර වින්දිතයන්ට සාධාරණත්වයත් අපරාධකරුවන්ට දඬුවමත් ලබා දිය යුතුයි.

ඒ නිසා විවිධ අවස්ථාවල මේ රටේ සිදුවී ඇති අපරාධ තමන්ගේ දේශපාලන වේදිකාවේ දේශපාලන සටන් පාඨ බවට පත් වුනා. නමුත් ගොඩ නැගුන කිසිම රාජ්‍යයක් ඒ පිළිබඳව සාධාරණය ඉටු කරගන්න අසමත් වී තිබෙනවා. මා ඔබට සහතිකයක් දෙනවා . ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධයන්ගේ වග උතතරකරුවන් හෙළිදරවු කරන බවටත් ඔවුන් නීතිය හමුවට ගෙනියන බවටත් වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවටත් අප ඔබට සහතිකයක් දෙනවා.

අපට අවශ්‍යයි නීතිය යුක්තිය සාධාරණත්වය ඉටුවන රාජ්‍යයක් අපට අවශ්‍යයයි. ඒ රාජ්‍යයේ එළඹී ඇති ජනවරම තුළවත් අප ස්ථාපිත කිරීමට අසමත් වන්නේ නම් යළි එවැනි රාජ්‍යයක් පිළිබඳ සිහින දැකීමෙන්වත් පලක් නෑ. මේ රටේ යුක්තිය සාධාරණත්වය පිලිබඳ මේ රටේ සිහින මැරෙනවා අපි එය ඉටු කරන්නේ නැතිනම්. සිහිනයකින් වත් යුක්ති සාධාරණත්වය පිළිබඳ අපෙක්ෂා අපේ රටේ ජනතාවගේ ඇති වෙිව් කියලා මා විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා යුකිතිය සහ සාධරණත්වය පිළිබඳව අපේ රටේ සාධාරණය ඉටු විය යුතුයි. ඒ නිසා ඒ අපරාධයන් පිළිබඳවත්, දූෂණ හා වංචා පිළිබඳවත් අපි නීතිය ඉටු කොට නීතියෙ විධානය සහ ආධපත්‍යයත් නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසයත් යළි තහවුරු කරන්න කටයුතු කරනවා. එය කළ යුතුයි. එය අප කරනනේ නැතිනම් කවුද කරන්නේ කියන ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා.

ආර්ථිකය හසුරුවන හැටි

ඊලඟ විශේෂයෙන් ගත්තොත් මේ ආණ්ඩුව අපට ලැබෙනකොට අප විපක්ෂයෙ දේශපාලනයෙ යෙදෙමින් තිබුණා. මේ ආර්ථිකයෙ ගැඹුරේ ප්‍රමාණය අප දැනගෙන හිටියා. අපේ ආර්ථිකය විශාල ගැඹුරක සහ විශාල ප්‍රමාණාත්මක පැතිරීමක සිරවී තිබෙන ආර්ථිකයක්. ඉතාම සියුම් හුයකින් එල්ලා තිබෙන ආර්ථිකයක් අප හමුවෙ තිබෙන්නේ. මේ ආර්ථිකයට විශාල කම්පනයන් ඔරොත්තු දෙන්නේ නෑ, මේ ආර්ථිකයට විශාල හැරවුම් ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ නිසා බලය ගත් විගස අපේ අපේක්ෂාව වුනේ ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථිකය කෙරෙහි ඊට අදාල කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම. අපි කුඩා හෝ අත්වැරදිමක් මහත් ප්‍රතිවිපාක ගෙනත් දෙනවා මේ ආර්ථිකයෙ අර්බුදයේ ප්‍රමාණය මත. කුඩා හො කම්පනයක් තව දුරටත් මේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ නිසා මේ ආර්ථිකය ඉතා සියුම්ව, බිඳවැටීමට ඉඩ නොදී හැම තීරණයක්ම හැම අවස්ථාවකම සෑම පැති ගණනාවකින්ම කල්පනා කළ ගත යුතු අවස්ථාවකට අප එළඹී තිබෙනවා. අපට වැරදි කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් අපට උරුම කරලා දීලා නෑ. අත් වැරැද්දකට හෝ අවස්ථාවක් නෑ. ඒ නිසා මේ ආර්ථිකය මෙහෙයවීමේ දී සියුම් හැම තැනක්ම හරියට කල්පනා කරලා සංවාදයට ලක් කරලා තීන්දු ගත යුතුයි.

ඒ අනුව අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ වහාම අපි ජනාධිපතිවරණයේ දී ප්‍රකාශයට පත් කරලා තිබුණා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට පැමිණි රාජ්‍යයක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයක් තියන රාජ්‍යයක එකගතා බිඳවට්ටා ඉදිරි ගමනක් නැති බව අප තේරුම් ගත්තා. ඒ අනුව අපි ජනාධිපතිවරණයේ දී මහ මැතිවරණයේදී අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල එක්ක එකඟවී ඇති පරාමිතීන්ට අනුව අප මේ ආර්ථිකය හසුරුවන්න සූදානම් බව. ඒ අනුව දැනට අප ක්‍රියාමාර්ග කීපයක නිරතවෙමින් ඉන්නවා

අප දන්නවා එහි තුන්වැනි සමාලෝචනය ප්‍රමාද වී තිබෙනවා. තුන්වැනි සාමාලෝචනය ආරම්භ කළ යුතුව තිබුණේ සැප්තැම්බර් මාසයේ දී. නමුත් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය හේතුකොටගෙන තුන්වැනි සමාලෝචනය ආරම්භ කරන්න අපට කාලයක් ගතවුනා. මහ මැතිවරණය අවසන් වූ වහාම ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය ලංකාවට ආවා. අප ඔවුන් එක්ක දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටිනවා. අපි හිතනවා මේ සතිය තුළ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ගිවිසුමක් අපට මේ 23 වැනිදා අත්සන් කරගත හැකි වේවි කියලා. එය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් සමග ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක්.

ඒ වගේම ජාත්‍යාත්ර මූල්‍ය අරමුදල හා කෙරී යන සාකච්ඡා අතරෙ ණය ප්‍රතිව්‍යුහගතකිරීම යට ගැසී තිබුණා. අප බලය ගන්නා විටත් ද්වී පාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධව එකගතාවයකට පැමිණ තිබුණා. ඒ වගේම වාණිජ වෙළෙඳපලේ ජාත්‍යාන්තර ස්වරි බැඳුම්කර සම්බන්ධව සාකච්ඡා ආරම්භ කර තිබුණ. ඒ සාකච්ඡා ඒ වෙලාවෙ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කළා ජනාධිපති ඡන්දයට දින දෙකකට පෙර අවසන් වූ බව. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධව යළි සාකච්ඡාවකට අපට ඉඩකඩ විවෘත වෙලා තිබුණෙ නෑ. අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් සාකච්ඡා කර තිබුණා. නැවත එම සාකච්ඡා ආරම්භ කළොත් එවැනි දීර්ඝකාලයක් ණය ප්‍රතිව්‍යුගතකරගැනීමකින් තොරව අපට ආර්ථිකය ඉදිරියට ගෙනියන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා අවුරුදු දෙකකට ආසන්න කාලයක් කළ සාකච්ඡාවල අවසන් අදියරේ තමයි අප බලය ගන්නාවිට තිබුණේ. ඒ ප්‍රතිව්‍යුගත කිරීමේ කොන්දේසි හොඳද නරකද වාසිද අවාසිද කියලා දැන් විවාද කරගැනීමෙන් පලක් නෑ. ඒක තමයි අප හමුවේ තිබෙන යථාර්ථය.

ඒ අනුව ද්වී පාර්ශවීය ණය පිළිබඳ එකඟතාවයකට ඇවිත් තියනවා. අපි ඉක්මනින්ම එක් එක් රටවල් සමග වෙන වෙනම ගිවිසුම්වලට එළඹීමට කටයුතු කරනවා. අනෙක් පසින් ගතහොත් ජාත්‍යාන්තර ස්වරී බැඳුම්කර, වාණිජ වෙළෙඳපලෙන් ලබා ගත් ණය සම්බන්ධව මූලික ගිවිසුමකට අප එළඹී තිබෙනවා. අප හිතනවා දෙසැම්බර් මාසේ අග වෙනකොට ඒ ගිවිසුම අපටකෙළවර කරගන්න පලුවන් වේවි කියලා.

ඒ නිසා ජාත්‍යාන්තර මූල්‍ය අරමුලත් සමග ගැටගැසී තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකිරීම මේ වසර අවසන්වන විට අවසන් කරගන්න පුලුවන් වේවි. ඒ වගේම තුන්වන මට්ටමේ සමාලෝචනයට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය මේ සතිය වනවිට අපට ලබාගන්න පුලුවන් වේවි. එය අපේ ආර්ථිකය යම් ප්‍රමාණයක ස්ථාවරත්වයකින් ගොඩනැගීමට පිටුවහලක් වෙයි.

අයි.එම්.එෆ් විතරක් ප්‍රමාණවත් නෑ..

නමුත් අප ප්‍රතිපත්තියක් ලෙස අපේ ආර්ථිකය මුහුණ දී තිබෙන ගැටලුවලට එම න්‍යාය පත්‍රය පමණක් ප්‍රමාණවත් වේවි කියලා අප විශ්වාස කරන්නෙ නෑ. නමුත් අපේ රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අර්බුදය කළමනාකරණය කරගැනීම සඳහා එම වැඩපිළවෙළ ප්‍රමාණවත් වේවි.

අපේ රටේ ආර්ථික දේහයේ විශාල කඩාවැටීමක් ඇති වී තිබෙනවා. ආර්ථික දේහයේ ඇතිවී තිබෙන අර්බුදයෙන් පියමං කිරීම සඳහා නව උපාය මාර්ගයකට අප අවතීර්ණ විය යුතුයි. ඒ නව ආර්ථික උපාය මාර්ගය ප්‍රධාන ලක්ෂණ තුනකින් සමන්විත වෙනවා. පළමු කොටම අපේ රටේ භාණ්ඩ හා සේවා නිශ්පාදනයේ වේගවත් වර්ධනයක් හා ප්‍රසාරණයක්. අපි භාන්ඩ හා සේවා නිශ්පාදනය වර්ධනය කරගත යුතුයි. ඒ වගේම ප්‍රසාරණය කරගත යුතුයි.

බොහෝ විට අපේ රටේ ආර්ථික වර්ධනයන් බොහෝ විට අපට ගෙනත් දෙන්නේ බස්නාහිර පළාත. ඒ නිසා ආර්ථිකය අනෙක් පළාත් දක්වා ප්‍රසාරණය විය යුතුයි. ඒ නිසා අපේ සැලැස්ම තමයි භාණ්ඩ හා සේවා නිශ්පාදනයේ වේගවත් වර්ධනයක් සහ වේගවත් ප්‍රසාණයක්.
ඊලඟ ලක්ෂණය තමයි ආර්ථිකයට ජනතාව සම්බන්ධ විය යුතුයි. ජනතාව පිටමං කරන ලද ආර්ථිකයකින් අපට පලක් නෑ. ජනතාව මිනිස් දූවිලි බවට පත් කරන ලද ආර්ථිකයකින් අපට පලක් නෑ. ආර්ථිකයෙ සෑම ක්‍රියාවලියකම ඒ ඒ හැකියාවන් අනුව ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් විය යුතුයි. ජනතාව ආර්ථිකයේ පංගු කරුවන් කරනග්නනේ නැතිව ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එන්නෙ නෑ. ඒ නිසා අපේ ප්‍රධානම ප්‍රයත්නය වන්නේ අපේ ආර්ථක ගමන් මගේ ජනතාව කොහොමද පංගු කරුවන් කරගන්නෙ කියන එක. ඒක තමයි අපේ ආර්ථික උපාය මාර්ගයේ දෙවැනි ලක්ෂණය.

අපේ ආර්ථික උපාය මාර්ගයේ තුන්වැනි ලක්ෂණය තමයි අප රටේ මොනතරම් ධනය උත්පාදනය කළත් ඒ ජාතික ධනය රටේ අතලොස්සක් අතරේ සංකේන්ද්‍රණය වෙනවා නම් ඒ රාජ්‍යයේ හෝ ඒ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇති කරන්නේ නෑ. ඒ නිසා සියලු ජනයා එක් වී ආර්ථිකයෙ මහා ජාතික ධනයක් නිශ්පාදනය කරනවා. රටේ ස්වභාවික සම්පත් ඒ ජාතික ධනය උත්පාදනය කිරීමට යොදා ගන්නවා. අපි සියලු දෙනා එක්වී ඒ ජාතික ධනයක් එකතු කරගෙන ඒ ජාතික ධනය අතලොස්සක් අතරේ සංකේන්ද්‍රණය වෙනවා නම් ඒ කිසිසේත්ම ආර්ථික ගමන ස්ථාවර කරන්නෙත් නෑ. සමාජය ස්ථාවර කරන්නෙත් නෑ. ආර්ථිකයේ ජාතික ධනය සාධාරණ ලෙස ජනතාවට ගලාගෙන යා යුතුයි. ආරථිකයෙ සාධාරණ පංගුවක් ජනතාව වෙත ගලා යා යුතුය යන ස්ථාවරයේ සිට අප ආර්ථිකය හසුරුවනවා.

වෙළෙඳපල ඒකාධිකාරිය බිඳ දැමීම

ඒ වගේම වෙළෙඳපල හැසිරිම ගැන අපට ප්‍රතිපත්තියක් තියනවා. අපේ රට කියන්නෙ විශාල වෙළෙඳපලක් තියන රටක් නෙමෙයි. මේ වෙළෙඳපල තුළ ඒකාධිකාරීන් නිර්මාණය විය හැකියි. උදාහරණ ලෙස ගත්තොත් දෛනික අපේ සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6500යි. ආසන්න වශයෙන් ගත්තොත් වසරකට අපට අවශ්‍ය වන්නෙ මෙට්‍රික් ටොන් ලක්ෂ 23ක්. ඒක අනෙක් ලෝකයේ අනෙක් රටවල් හා සසඳද්ද කුඩා වෙළෙඳපලක හැඩරුව ප්‍රකට කරනවා. කුඩා වෙළෙඳපලක තියන අනතුර තමයි ඒ වෙළෙඳපල ඇතුළෙ ඒකාධිකාරියක් නිර්මාණය වෙන්න පුලුවන්. ඒ නිසා ආර්ථිකයෙ තියන දත්ත මත ආර්ථිකයෙ තියන චලනයන් මත නෙමෙයි වෙලෙඳපල හැසිරෙන්නේ. අප අත්විඳමින් තියනවා. ආර්ථිකයෙ තිබෙන සාධක මතම නෙමෙයි වෙළෙඳපල හැසිරෙන්නේ.

අද අපේ රටේ වෙළෙඳපල හැසිරෙන්නේ ඒකාධිකාරීන් මත. ඔවුන්ට පුලුවන් භාණ්ඩ මිල උච්චාවචනය කරන්න ඔවුන්ට පුලුවන්. භාණ්ඩයක මිල තීරණය කරන්න ඔවුන්ට පුලුවන්.
වී මිලදී ගැනීමේදී  වී මිලදී ගැනීමේ මිල ඔවුන්ට තීරණය කරන්න පුලුවන්. හාල් විකුණන මිලත් ඔවුන්ට තීරණය කරන්න පුලුවන්. ඒ කිසිවක් තීරණය වන්නේ වෙළෙඳපල සාධක මත නොවේ. ඔවුන් වෙළෙඳපලේ අත්පත් කරගෙන තිබෙන අධිකාරී බලය මත. ඒ නිසා ජනතාවට විශාල වැය බරක් දරන්න සිදුවී තිබෙනවා. ඒ නිසා අපි යළි අපේ රටේ වෙළෙඳපලේ හැසිරීම ප්‍රතිශ්ඨාපනය කරන්න බලාපොරොත්තු වෙනවා. මොකක්ද අපේ අරමුණ. රාජ්‍යයක් ලෙස අපේ අරමුණ තමයි රාජ්‍යයක් ලෙස භාණ්ඩ හා සේවා අඛණ්ඩවත් ගුණාත්මකවත් සාධාරණ මිලකටත් ලබාදීම. ඒක තමයි මහජනයා කෙරෙහි රජයේ ඇති බැඳීම. ඒ වගකීම රජයට අත් හරින්න බෑ. ඒ වගකීමෙන් රජයට මිදෙන්න බෑ

ඒ වගකීම ඉටු කිරීම සඳහා අප යාන්ත්‍රණ කීපයක් ගැන කල්පනා කරලා තියනවා. එකක් තමයි සාමාන්‍ය ආර්ථික විද්‍යාවෙදි තරගය විසින් අඛන්ඩතාවය හදනන් පුලුවන්. ගුණාත්මක භාවය හදන්න පුලුවන්. මිල තීරණය කරන්න පුලුවන්. ඒ නිසා සමහර ක්ෂේත්‍රවල තරගකාරීත්වය හරහා යට කී අරමුණු ඉටු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. වෙළෙඳපලේ ඇති කරන නිදහස් තරගය විසින් යට කී අරමුණු ඇති කරගන්න පුලුවන්.

නමුත් සමහර ක්ෂේත්‍ර තිබෙනවා ඒ වෙළෙඳපළේ නිදහස් තරගයම නොවෙයි. වෙළෙඳපලට යම් නියාමන අධිකාරීන් විසින් නියාමනය කිරීම හරහා වෙළෙඳපල හැසිරවිය හැකියි. ඒ සඳහා නියාමන ආයතන අපි ගොඩනගා තිබෙනවා. ඒ සඳහා මේ පාර්ලිමේන්තුවෙ නියාමන අධිකාරීන් සඳහා නීති සම්පාදනය කර තිබෙනවා. හැබැයි වෙළෙඳපලේ ඇති කර තිබෙන විකෘතීන් වෙනස් කිරීම සඳහා එම නියාමන අධිකාරීන් ප්‍රමාණවත්වී තිබෙනවා ද, එම නියාමන නීති ප්‍රමාණවත් වී තිබෙනවාද කියලා අපි නැවත සමාලෝචනය කළ යුතුයි.

තව ක්ෂේත්‍ර තිබෙනවා ආර්ථිකයට ඉතාම වැදගත් සංවේදී ක්ෂේත්‍ර. එම ක්ෂේත්‍ර වෙළෙඳපලේ තරගකාරීත්වය මත නොවෙයි, රාජ්‍ය ඒ වෙළෙඳපලේ පංගුවක් නියෝජනය කරමින් ඒ වෙළෙඳපල හැසිරවිය යුතුයි. බලශක්ති වෙළෙඳපල ගත්තොත් එය නිදහස් තරගය විසින්ම තීරණය කළ යුතු නෑ. බලශක්ති වෙළෙඳපල හැසිරවීමේදී එය රාජ්‍යයේ පංගුවක් නියෝජනය කළ යුතුයි. එය ආර්ථිකයේ ඉතාම සංවේදී ස්ථානයක්. බලශක්ති වෙළෙඳපලේ කුඩා උච්චාවචනයන් ආර්ථිකයට මාරාන්තික ලෙඩ ගෙනත් දෙනවා. ඒ නිසා ඒ ක්ෂේත්‍රවල යම් රාජ්‍ය පංගුවක් නියෝජනය කළ යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා.

ඒ වගේම මූල්‍ය වෙළෙදපල නිදහසේම හැසිරෙන්න ගත්තොත් ඒ කුමණ තත්ත්වයට පත් වෙයි ද. මූල්‍ය වෙළෙඳපලෙත් රාජ්‍ය පංගුවක් අත්පත් කරගත යුතුයි.

වෙළෙඳපල විසිරිලා තියන එකක් වෙනුවට සංවිධානාත්මක කරන්න අවශ්‍යයයි. ලෝකයේ වෙළෙඳපල හැසිරවීමේ ප්‍රධාන කොටසක් සමූපකාර ජාලය නියෝජනය කරනවා. ඒ නිසා සමූපාකාර ජාලය යළි ශක්තිමත් කරලා වෙළෙඳපල ඉතා ශක්තිමත් තරගකරුවෙක් ලෙස වෙළෙඳපලට ඇතුළු කරන්නක බලාපොරොත්තු වෙනවා. අපේ ප්‍රතිපත්තිය ඍජුයි. කවුරුත් මීට පස්සේ ප්‍රශ්න කරන්න. හැබැයි මේ පදනමේ පිහිටලා. ”

රාජාසන කතාව අතර කෙටි කාලීනව රටට විශාල ආර්ථික පිම්මක් ලබාගැනීමට සංචාරක කර්මාන්තය යොදා ගන්නා ආකාරය ගැන ජනාධිපතිවරයා පැවසුවේය

“සංචාරක කර්මාන්තය සඳහා සැලසුම් සකස් කර තියනවා. මිලියන 4ක් සංචාරකයන් කැඳවා ගැනීමටත්, ඩොලර් බිලියන 08ක ආර්ථිකයක් සංචාරක කර්මාන්තය හරහා අවුරුදු තුන හතරක් වැනි කාලයක් ඇතුළත ලබා ගන්න අප බලාපොරොත්තු වෙනවා. අපේ රටේ වැඩිම සංචාරකයින් ආවේ 2018 වසරේ. මිලියන 2.3ක වගේ සංචාරකයින් ආවා. ඩොලර් බිලියන 4.3ක වගේ ආර්ථිකයක් ඉන් ලැබී තිබෙනවා. නමුත් අපේ අපේක්ෂාව මිලියන 4ක සංචාරකයින් කැඳවා ගැනීම සහ ඩොලර් බිලියන 08ක ආර්ථිකයක් ගොඩනගා ගැනීම.”

එමෙන්ම අයි.ටී ක්ෂේත්‍රයේ ගොඩ නගාගන්නා පරිවර්තනයක් කිරීම, අපේ රටේ පිහිටීමක් සමග වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම, කෘෂිකර්මාන්තය නව නැවුම් පිම්මක් පැනීම, ධීවර කර්මාන්තය දියුණු කිරීම,  විද්‍යා තාක්ෂණය අලුත් පිම්මක් පැනීම, ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම,  ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරහා යහපත් පුරවැසි පරිවර්ථනයක් සිදුකිරීම සඳහා කටයුතු කිරීම ඇතුළු සමස්ථ සමාජ දේහයම ආර්ථිකයේ කොටස් කරුවන් කරගනිමින් ඉදිරි ආර්ථික ගමනක සැලසුම ව ජනාධිපතිවරයා රාජාසන කථාවේදි අවධාරණය කළේය.

“අපි කවුරුවත් අවුරුදු දහස් ගණනක් ජීවත් වෙන්නෙ නෑ. පුරවැසියෙක් ජීවත් වෙන්නේ අවුරුදු 70ක් අසූවක්. මේ කාලය තුළ සෑම පුරවැසියෙකුටම සාධාරණ ආහාර වේලක්, දරුවාට හොඳ අධ්‍යාපනයක්, ඉන්න නිවහනක්, ආදායම් මාර්ගයක් සහ මානසික සුවයක් තියන පුරවැසියෙක් අපට අවශ්‍යයයි. ඒ නිසා අපේ ආණ්ඩුවේ ප්‍රධානම අරමුණ ග්‍රාමීය සහ නාගරික දුගී භාවය තුරන් කිරීම. ඒ සඳහා අස්වැසුම දැනට දෙන දීමනාව අයවැයෙන් සාධාරණ පංගුවකින් වැඩි කරනවා. පාසල් පොත් මිලදී ගැනීමට දුෂ්කරභාවයෙන් පෙළෙන පවුල් සඳහා ඊලඟ අලුත් අවුරුද්ද ආරම්භ කරනකොට රජයෙන් දීමනාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා. විශ්‍රාමික දීමනාව දැනටමත් රුපියල් 3000කින් වැඩි කරලා තියනවා. එළඹෙන අයවැයේ දී සාධාරණ වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවකයින්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 5ට අඩු ළදරු මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් ඉන්නවා. මේ දරුවන්ගේ ළදරු මන්දපෝෂණය තුරන් කිරීමට එවැනි දරුවන් ඉන්න පවුල් සඳහා යම් දීමනාවක් දෙන වැඩපිළිවෙළක් හදනවා. ගැබිණි මව්වරුන් රකත්හීනතාවයෙන් පෙළෙනවා. ගැබිණි මව්වරුන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩපිළවෙළක් අප ක්‍රියාත්මක කරනවා. ආබාධිත පුද්ගලයින් රැක ගැනිම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සහ දීමනාවක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ ආණ්ඩුව සියලු පුරවැසියන් බලා ගන්නා ආණ්ඩුවක්. අත් නොහරින ආණ්ඩුවක්. ” ජනාධිපතිවරයා පැවසුවේය. අය වැය සම්මත කරගන්නා තෙක් එම අයවැයේ සංකල්පීය ස්වරූපය මේ කතාවේ සංක්ෂිප්තයෙන් ප්‍රකාශ වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

එක් වී රට හදමු… වෛරය දුරු කළ හැක්කේ ආදරයෙන් පමණයි…

නව පරිවර්තන යුගයක් ඇති කරන බවත් එම යුගය සාර්ථක කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනා සහයෝගය දෙනු අතැයි තමා විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා කීවේය,

“අප විවිධ දේශපාලන කඳවුරුවල ඉන්න ඇති. අප ප්‍රතිවිරෝධී මතවාදවල ඉන්න ඇති. අප එකිනෙකා අතර වාග් සංග්‍රාමයන් සිදුවී ඇති. බරපතල පන්නයේ විවේචනයන් සිදුවී ඇති. හැබැයි මා විශ්වාස කරනවා අප හැමදෙනාම එක් පොදු අරමුණක ගැටගැහිලා ඉන්නවා. ජනතාවගේ නියෝජිතයන් හැටියට මිට වඩා යහපත් රටක් නිර්මාණය කිරීමේ වගකීමක් අපට තියනවා. ඒ වගකීම වෙනුවෙන් මමත් අපේ ආණ්ඩුවත් බැඳිලා ඉන්නවා. විපක්ෂයේ සියලුම පක්ෂවල නායකයින් සියලුම මන්ත්‍රීවරුන් ඒ සඳහා සහාය දෙනු ඇතැයි මා විශාල බලාපොරොත්තුවක ඉන්නවා. ”

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මාටිං ලූතර් කිං එකවිටක කිව්වා අඳුරට අන්ධකාරය පළවා හැරිය නොහැක. එය කළ හැක්කේ ආලෝකයට පමණි. වෛරය වෛරය දුරු කළ නොහැක එය කල හැක්කේ ආදරයට පමණි කියලා.

බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පක්ෂයේ කාන්තාවන් අතරින් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයකට සුදුසුම කෙනා මම… හිරුණාකා මධ්‍ය හමුවක් කැඳවා කියයි!

Next Post

කාථානායක පුටුවේ ඉඳගත් ආචාර්ය උපාධි ධාරී වෘත්තීය සමිති නායකයාගේ කතාව…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.