රජයට නොගෙවා පැහැර හැරිය බිලියන පහකට අධික සමස්ථ වැට් බදු මුදල ලබන 30 වැනිදා වනවිට නොගෙවුවහොත් මෙන්ඩිස් සමාගමේ නිශ්පාදන අත් හිටුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.
මේ වනවිට තවදුරටත් වැට් බදු ගෙවීම පැහැර හැර ඇති මෙන්ඩිස් සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිශ්පාදනාගාරයේ නිශ්පාදන කටයුතු සීමා කිරීමට සුරාබදු කොමසාරිස්වරයා විසින් තීරණය කර තිබේ. ඒ අනුව දෙපාර්තමේන්තුව පැනවූ සීමාවලට යටත්ව නිශ්පාදන කටයුතු සිදුකරන්නේ දැයි අධීක්ෂණය සඳහා නිලධාරීන් කණ්ඩායමක් ද යෙදවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ ලබන 30 වැනිදා දක්වා හිඟ බදු ගෙවීමට මෙන්ඩිස් සමාගමට තව දුරටත් අවස්ථාව පවතින බවය.
මේ වනවිට මෙන්ඩිස් සමාගම විසින් රජයට ගෙවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 5ක් ඉක්මවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
නියෝග ප්රකාරව බදු මුදල් ගෙවීම පැහැර හැරිම හේතුවෙන් ඔක්තොම්බර් 18 වැනිදා සිට මෙන්ඩිස් සමාගමේ හිමිකාර අර්ජුන් අලෝසියස් ඇතුළු සමාගම් අධ්යක්ෂවරු තිදෙනෙක් මේ වනවිට ඉන්නේ බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳිමිනි.







