දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයේ තිබී තෙල්දෙණිය පොලිසිය විසින් සොයා ගනු ලැබූ බලපත්‍ර නොමැති ජීප් රථය සම්බන්ධයෙන් අද (03) උදේ අත් අඩංගුවට ගත් මහනුවර ගාලතැන්න දේවාලයේ කපුවා වූ ගාමිණී ආනන්ද මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙනිය මහේස්ත්‍රාත් දේවිකා ජයවර්ධන අද නියෝග කළාය.
සාපරාධී සාවද්‍ය වාහන පරිහරණය සම්බන්ධ චෝදනා මත අත් අඩංගුවට ගත් ගාලතැන්න කපුවා මෙම වාහනය සම්න්ධව මූලික විමර්ශනයේ දී බොරු ප්‍රකාශ දෙමින් පොලිසිය නොමග හැරියේය. ලැබුණු මහජන තොරතුරක් මත මෙම නිවසේ ගරාජයේ තිබී සොයා ගත් ව්‍යාජ අංක තහඩු සහිත වාහනය ගැන තමන් කිසිත් නොදන්නා බවත්, මෙම වාහනය තම නිවසට ගෙනත් දැම්මේ සිය දිවි නසා ගත් ලොහාන් රත්වත්තගේ පුද්ගලික ලේකම්වරයා බවත් පොලිසියට පැවසුවේය.
කෙසේ වෙතත්, වැඩිදුර විමර්ශනයේදී වාහනය සහ ගාමිණී ආනන්ද අතර සම්බන්ධයක් අනාවරණය විය. එම ජීප් රථය ගාමිණී ආනන්දට අයත් එකක් බවට පොලිසිය පසුව තහවුරු කරගත්තේය. මෙම ජීප් රථය මීට පෙරද මහනුවරදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආරක්ෂක රථය අවහිර කිරීමට උත්සාහ කිරීමේදී පොලිස් භාරයට ගෙන ඇති බව අතිරේක විමර්ශනවලදී අනාවරණය වූ අතර එය නීති විරෝධී වාහනයක් බව පොලිස් විමර්ශනවලදී තහවුරු වූ තිබියදීත් අධිකරණ ක්‍රියාදාමය තුළ නිදහස්වීම සම්බන්ධව එවකට සිටි විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසම වෙත චෝදනාවක් ද ගොනු වී තිබිණි.
මේ තත්ත්වයත් සමග අනාවරණය වූයේ කපුවා විසින් වාහන 17ක එකතුවක් සහිත පුද්ගලික රථ අංගනයක් පාලනය කරන බවත්, ඉන් වාහන 07ක් නීති විරෝධී බවට සැක කෙරෙන බවත්ය. විමර්ශන වැඩිදුරත් ක්‍රියාත්මකය.







