දිනසේන රතුගමගේ
සජිත් ප්‍රේමදාස පසුපස ගිය ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ දෙමළ දේශපාලනඥයින්ගේ දේශපාලන අනාගතය හමාර බව එම පක්සයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් යාපනයේ දී පැවසුවේය.
ජනධිපතිවරණයේදී තමන් හක්ගෙඩිය ලකුණෙන් තරග කළ දෙමළ පොදු අපේක්ෂකයාට සහය පල කරන ලද්දේ පක්ෂයේ තීරණයකින් තොරව පක්ෂයේ පිරිසක් සජිත් ප්‍රේමදාසට සහය ලබාදීමට උත්සාහ කිරීම නිසා බව කී ශ්‍රීධරන් එම කණ්ඩායමට කුමක් සිදුවනු ඇතිදැයි බලා සිටින ලෙස ඉල්ලා සිටියේය.
යාපනයේදී මාධ්‍යවේදීන් අමතා ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) ප්‍රදේශයේ පිහිටි ජන හමුවකට සහභාගී වීමෙන් පසුවය.
මෙවර මහ මැතිවරණයත් සමගම ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ( ITAK ) විනාශකොට දැමීමට පක්ෂයේම විශාල පිරිසක් උත්සාහ කරණ නමුත් කිසි විටකත් තමන් ඊට ඉඩ නොතබන බවද ඔහු කීවේය.
දෙමළ ජාතික සන්ධානය විවිධ හේතූන් මත දියවී ගොස් අවසානයේදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පමණක් ඉතිරි වී තිබීම ඇතැම් දෙමළ දේශපාලනඥයින්ගේ ඇස් වලට සතුටු කදුළු එක් කළ සිද්ධියක් ලෙස තමන් දකින බවද ශ්‍රීධරන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
එවැනි පිරිසකට මේ අවස්ථාවේදී අවශ්‍යවී ඇත්තේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයත් හැර දමා දෙමළ ජාතික සන්ධානය වැනි දෙමළ සභාග පක්ෂයක් පිහිටුවීමට බව කී එම පක්ෂයේ නායකයා ඒ සඳහා පක්ෂය තුළ සිටින පිරිසක් යටින් සහය ලබා දීමක් සිදු කරමින් සිටින බවද පෙන්වා දුන්නේය.
මෙවර මහ මැතිවරණයේදී දෙමළ ජනයාගේ අභිමතයන් හා ආකල්පද ඔවුන්ගේ අයිතිවාසිකම්ද දිනා දීමට තමන් පෙරමුණ ගන්නා බවත් කවර බලවේගයක් උතුරු නැගෙනහිර පුරා ක්‍රියාත්මක වීමට උත්සහ කළත් ඒ ඕනෑම අභියෝගයකට දෙමළ ජනයා සමග මුහුණ දීමට තමන් සූදානම් බවද ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ වත්මන් නායක ශ්‍රීධරන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.







