මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් ඇතුළු රටේ සමස්ත සහල් තොග රැස් කරන්නන් සතු සමස්ත තොග ප්‍රමාණය පිළිබඳව සියලු තොරතුරු මධ්‍යගත පද්ධතියක් වෙත එක් රැස් කරන ලෙසත් අම්පාර සහ පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් මේ වනවිට බැංකුවලින් ලබාගෙන ඇති ඇපකර ණය පිළිබඳව සියලු තොරතුරු ලබා ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ බලධාරීන්ට ඊයේ (25) උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
ඉරිදා මව්බිම පුවත්පත් සිය ප්‍රධාන සිරස්තලයෙන් මේ පුවත වර්තා කර ඇති අතර සිකුරාදා ජනාධිතිවරයා විසින් අදාළ නිලධාරීන් කැඳවන ලද සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර ඇත. සහල් වෙළෙඳපොල සම්බන්ධයෙන් මේ වනවිට නිර්මාණය වී ඇති තත්ත්ව පිළිබඳව සිදු කෙරී ඇති සාකච්ඡාවකදී මේ වනවිට රටේ සහල් තොග සහ සහල් තොග රැස් කරන්නන් පිළිබඳ ව මධ්‍යගත තොරතුරු පද්ධතියක් නොවීමත් සහල් වෙළෙඳපොළ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු නොමැති වීමත් හේතුවෙන් අදාළ පියවර ගැනීමට ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී ඇත.
මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම්වරයා කෘෂිකර්ම අමාත්‍යංශ වෙළෙද අමාත්‍යංශ සහ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ගණනාවක් සහභගී වී ඇති අතර එහිදී නිලධාරීන්ගේ අවධානය විශේෂයෙන් පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්වල මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් සතු තොග පිළිබඳව සියලු තොරතුරු රැදස් කර ගැනීමට අවශ්‍ය නිලධාරීන් යෙදවීම කෙරෙහිද අවධානය යොමුව ඇත.
සහල් සඳහා පවතින පාලන මිල ඉවත් කර ගැනීම සඳහා කෘත්‍රිම සහල් හිගයක් රට තුළ නිර්මාණය කරන බවට වෙළෙඳපොල අරංචි මාර්ග පසුගියදා සඳහන් කළ අතර එයින් පසුව ජනාධිපතිවරයා මහා පරිමාණ සහල් හිමයන් සාකච්ඡාවකට කැඳවා පාලන මිල ඉවත් කළ නොහැකි බව දැන්වීය. එසේම පසුගියදා මැතිවරණ රැළියක් සඳහා පොළොන්නරුවේ ගිය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහල් සම්බන්ධයෙන් මෝල් හිමියන් අවබෝධයෙන් යුතුව කටයුතු නොකරන්නේ නම් නීතියට අනුව කටයුතු කිරීමට සිදුවන බව ද ප්‍රකාශ කළේය.







