- තානාපති කාර්යාල අනතුරු අඟවනවිට විමර්ශන කරලා සැකකරුවන් අත් අඩංගුවට අරන් ආරක්ෂාව තහවුරු කරලත් ඉවරයි… විමර්ශන අංශ කියයි!
මෙරට සංචාරයේ නිරත ඊශ්රායල් ජාතිකයන් ඉලක්ක කරගෙන අරුගම්බේදී ප්රහාරයක් එල්ල කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් විදේශයකින් ලද බුද්ධි තොරතුරකට අනුව විමර්ශන පවත්වා අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර, 2006දී ශ්රී ලංකාවේ සිටි පාකිස්තාන මහකොමසාරිස්වරයා ගමන් කළ වාහන පෙළට බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
කොල්ලුපිටියේදී 2006 වසරේදී පාකිස්තානු මහකොමසාරිස්වරයා ගමන් කළ වාහන පෙළ ඉලක්ක කරගෙන බෝම්බ ප්රහාරය එල්ල වී තිබිණි. ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තිදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබීය. එම නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් ඉකුත් වසරේ නොවැම්බර් 23 වැනිදා අධිකරණය මඟින් සැකකරුවන් තිදෙනාම නිදහස් කර තිබිණි. ඒ අතර සිටින සැකකරුවකු අරුගම්බේදී ඊශ්රායල් ජාතිකයන් ඉලක්ක කර ප්රහාරය එල්ල කිරීමේ සැලසුමේ සැකකරුවකු ලෙස මේ වන විට ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
යාපනයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු රත්මලාන ආශ්රිතව පදිංචිව සිට ඇති බවත් මෙම ප්රහාර සැලසුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මාලදිවයින් සම්භවයක් සහිත ශ්රී ලාංකිකයා සමඟ හිතවත්කම් ඇති වී තිබෙන්නේ බන්ධනාගාරයේදී බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මාලදිවයින් සම්භවයක් සහිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කවුඩානේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක නිවෙසකදීය. ඔහු එම නිවෙසේ මවත් සමඟ පදිංචිව සිට ඇති බව කියැවේ.
මෙම මාලදිවයින් සම්භවයක් සහිත පුද්ගලයාගේ මව ශ්රී ලාංකික කාන්තාවක බවත් පියා මාලදිවයින් ජාතිකයකු බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත. මාලදිවයින් ජාතික පියා මාලදිවයිනේ සිටින බව කියැවේ.
කවුඩානේ පිහිටි නිවෙසේ පදිංචියට යෑමට පෙර ඔවුන් පදිංචිව සිට ඇත්තේ වැල්ලවත්තේ බවත් එම නිවෙසේ දැන් පදිංචිව සිටින්නේ සැකකරුගේ මවගේ සහෝදරියන් දෙදෙනා බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.
මාලදිවයින් සම්භවයක් සහිත පුද්ගලයා යම් වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇති බව සඳහන්ය. ඔහුත් යාපනයේ වැසියාත් අත්අඩංගුවට ගෙන ඇත්තේ සතියකට පමණ පෙරදී බවත් ඊට මුල්වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 07 වැනිදා විදේශයකින් ලද බුද්ධි තොරතුරක් බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.
අරුගම්බේදී ඊශ්රායල් ජාතිකයන් ඉලක්ක කරගෙන ප්රහාරයක් එල්ලවීමට නියමිතව ඇති බවට විදෙස් බුද්ධි සේවයකට ලද තොරතුර මෙරටට නිල වශයෙන් දැනුම්දීමත් සමඟ ඒ ගැන ආරක්ෂක මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර අනතුරුව ගත් ආරක්ෂක පියවර හා මෙහෙයුම් හේතුවෙන් සැකකරුවන් ඉතා කෙටි කලක් තුළ අත්අඩංගුවට ගනිමින් එම ප්රහාරය සාර්ථකව වළක්වා ගැනීමට හැකි වූ බව පොලිස් ප්රධානියෙක් පැවසීය.
අරුගම්බේ ප්රහාරය කොන්ත්රාත්තුවක් බවත් ඒ වෙනුවෙන් විශාල මුදලක් ලබා දීමට පොරොන්දු වී තිබී ඇති බවත් සඳහන්ය. මෙරටදී හමුවූ යම් පුද්ගලයකු මාලදිවයින් සම්භවයක් සහිත පුද්ගලයාට මෙම කොන්ත්රාත්තුව භාරදී ඇති බව කියැවේ. එම පුද්ගලයා හඳුනා ගනිමින් අත්අඩංගුවට ගැනීම සඳහා දුරකතන ජාල විශ්ලේෂණ ඇතුළු තාක්ෂණික මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
විදේශයකින් ලද තොරතුර තහවුරු කර ගැනීමෙන් අනතුරුව සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන අවසානයේදී ඒ බව තානාපති කාර්යාල දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් එසේ කළ දැනුම්වත් කිරීම් මුල්කරගෙන තානාපති කාර්යාල මඟින් ශ්රී ලංකාවේ සංචාරයේ නිරත සිය රටවල වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබුණු බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එහෙත් එම දැනුම්දීම සිදුවන විට ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ප්රහාරයක් එල්ලවීමේ අවදානම වළක්වා තිබුණු බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. – ගයාන් කුමාර වීරසිංහ- දිනමිණ-







