- ගොඩක් අයට අවුල් වගේ… ආරක්ෂාව කලින් වැඩි කළේ නැත්තේ ඇයි අහනවා… කිව්වෙ නැත්තේ ඇයි අහනවා… මතක තබා ගන්න… අපි ආරක්ෂාව වැඩි කරන්නේ එක එක්කෙනාට කිය කිය නෙමෙයි… දැන් මේ රටේ සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව සහතිකයි… ජනපති කියයි
විදේශ සංචාරකයින් අරභයා ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වී තිබෙන බවට වූ තොරතුර ලැබෙනවිට රජයක යුතුකම සහ වගකීම වන්නේ එම තත්ත්වයන් සම්බන්ධව හැකි උපරිම වේගයකින් කටයුතු කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මිසක් බුද්ධි අංශ තොරතුරු එවනවිට පුවත් පත් සාකච්ඡා තබමින් සමාජය ව්‍යාකූල කිරීම නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) පුත්තලමේ දී පැවසුවේය.
පුත්තලමේ පැවති ජන රැළියකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා කීවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් එනවිට සිදුකළ යුත්තේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොවන බවත්, මාධ්‍යවල ප්‍රවෘත්ති පල නොවුන නමුත් දිවා රෑ නොමැතිව ආරක්ෂක මණ්ඩලය රැස් වී සාකච්ඡා කරමින් අවශ්‍ය උපරිම ආරක්ෂාව තහවුරු කළ බවත් ආණ්ඩුවක වගකීම එය බවත් පැහැදිලි කළේය.
මේ රටේ සෑම පුරවැසියෙක්ම මේ වනවිට ආරක්ෂිත බව ජනාධිපතිවරයා සහතික කළේය. මේ වනවිට රටේ ඇති වී තිබෙන ආරක්ෂාව පිළිබඳ සංවාදයට පාදක වූ තත්ත්වය කළමනාකරණය කළ ආකාරය ජනාධිපතිවරයා මෙසේ විස්තර කළේය.
“අපි දන්නවා මේ වනවිට ලෝකයේ යම් යුද ගැටුමක් නිර්මාණය වෙලා තියනවා. එ් යුද ගැටුමේ සුළඟ ලෝකය පුරා පැතිරෙමින් තියනවා. එහි යම් යම් අවදානම්කාරී තත්ත්වයන් ලංකාවටත් ඇවිල්ලා තිබුණා. ”
“විශේෂයෙන්ම මේක අපට සති දෙකකට විතර කලින් ආරංචි වුනා. ලෝකයේ ඇවිලී තිබෙන යුද ගැටුමේ යම් දෙයක් ලංකාවේ සිදුවිය හැකියි කියන වාර්තාව.”
“අපි යම් ස්ථානවල වේගයෙන් ආරක්ෂාව තහවුරු කළා. අපි බුද්ධි අංශ තොරතුරු එනකොට මාධ්‍ය සාකච්ඡා තියන්නේ නෑ… එ්ක මතක තියා ගන්න. බුද්ධි අංශ තොරතුරු එනකොට අපේ වගකීම තමයි ඒ තොරතුරුවලට අනුරූපවන පරිදි කටයුතු කිරීම. අපේ වගකීම තමයි පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කිරීම. ඒ අදාල ප්‍රදේශවල ඉතාම වේගයෙන් අපි අපේ ආරක්ෂාව තහවුරු කරන්න පටන් ගත්තා.”
“ඒ විතරක් නෙමෙයි. බුද්ධි අංශ තොරතුරු මත අපි වේගයෙන් පරීක්ෂණ දියත් කළා. ඒ සඳහා සැකයට තුඩු දෙන කීප දෙනෙක් අපි අත් අඩංගුව ගන්නත් සමත් වුනා. නමුත් ප්‍රවෘත්ති පල වුනේ නෑ. මාධ්‍ය සාකච්ඡා තිබ්බේ නෑ. අපේ වගකීම මොකක් ද?. මොකක් හරි සිදුවීමක් වෙන්න යනවා නම් ඒ සිද්ධිය වැලැක්විම තමයි ආණ්ඩුවක් හැටියට අපේ වගකීම. ඒ සිදුවීම පුරවැසියන්ට හානියක් වීම වැලැක්වීම තමයි අපේ වගකීම.”
“නමුත් වෙනදා මොකක් ද සිද්ධ වෙලා තියෙන්නේ. එක්කො ඒ තොරතුරු සැලකිල්ලට භාජනය කරන්නේ නෑ, එක්කො ඒ තොරතුරු මාධ්‍යවලට දෙමින් විවිධ කලබැගෑනියක් නිර්මාණය කරනවා. ”
“අපි කලබල වුනේ නෑ. අපි අද කියන්න කැමතියි ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව අපි මේ වෙනකොට තහවුරු කරලා තියනවා මේ වෙනකොට. ඒ සඳහා අපේ පොලිසියේ බුද්ධි සේවාවන්ගේ ආරක්ෂක අංශවල නිලධාරීන් සමග ඉතාම සමීපව, සමහර විට දවසකට අවස්ථාවන් දෙකක් අපි ඔවුන් සමග සාකච්ඡා කළා. රාත්‍රියේ අපි එකතු වුනා. අපි තාක්ෂණය හරහා සාකච්ඡා කළා. අපි නිරන්තරව අවධානය යොමු කරමින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජයක් හැටියට ගත හැකි පියවර අපි ගත්තා.”
“අද ලෝකයේ හැම තැනම මෙවැනි සිදුවීම් සිදුවී තිබෙනවා. ඒ පිළිබඳ අවදානම්කාරී තත්ත්වයක් ලංකාව තුළත් ඇති වී තිබෙනවා. දැන් සමහර අය කලබල වෙලා ඉන්නවා. අනෙකා උත්සාහ කරන්නේ කොහොමද?. ඇයි කලින් කිව්වෙ නැත්තේ. කලින් ආරක්ෂාව දාන්න තිබ්බනේ. අපි ආරක්ෂාව දාන්නේ එකිනෙකාට කියලා නොවන බව මතක තබා ගන්න. අපි ආරක්ෂාව සම්බන්ධ පියවර අරන් තියනවා. අද අපි මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත හැකි හැම පියවරක්ම ගත්තා. අන්න ඒවට තමයි ආණ්ඩු කියන්නේ… මතක තියා ගන්න.”
“මේක ආණ්ඩුවක්. සෑම අතින්ම පුරවැසියන් බලා ගන්න ආණ්ඩුවක්. ආර්ථික වශයෙන් පුරවැසියන් බලා ගත යුතුයි. ආරක්ෂාව අතින් පුරවැසියන් බලා ගත යුතුයි. අධ්‍යාපනය ලබා දෙන්න දරුවන් බලා ගත යුතුයි. ව්‍යාපාර දියුණු කරන්න ව්‍යාපාරිකයන් බලා ගත යුතුයි. වැඩ කරන ජනතාව බලා ගත යුතුයි. මේ හැම දෙනාම බලා ගන්න ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කියන්නෙ. ඒක මතක තබා ගන්න. “







