-
ජනාධිපතිවරණයට දින කීපයකට පෙර රියදුරෙක් අතේ හොර වාහනය හිල්ටන් රථ ගාලට එවලා…
බදු වංචා කරමින් නීති විරෝධීව මෙරට තුළ එකලස් කරන ලද ලියාපදිංචි නොකර තමන් සන්තයේ තබා ගත් අධි සුඛෝපභෝගී BMW රථයක් වෙනත් පුද්ගලයෙකුගෙන් සොකරම් කරන ලද ගරාජ් අංක තහඩුවක් සවි කර කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ රහසිගත ලෙස සඟවා තැබීමට උත්සාහ කරන ලද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පැටිකිරිය අද (10) යළිත් වරක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී දිගහැරුණේය.
පැමිණිල්ල අද (10) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගවන මුල්ම අවස්ථාවේදීම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
අද අධිකරණයේ දි හෙළි වූ සම්පූර්ණ සිද්ධිය මෙසේය.
කොළඹ හිල්ටන් හෝටලයේ වාහන අංගනයේ සැක කටයුතු ලෙස නවතා තිබූ නවීන BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට තොරතුරක් ලැබිනි.
ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. නිලධාරීහු ලැබෙන තොරතුර මත හිල්ටන් රථ ගාලට ගියහ.
තොරතුර නිවැරදිය. wp c 24-0430 දරන ගරාජ් අංකය සහිත BMW වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් හෝටලයේ වාහන අංගනයේ නවත්වා තිබී නිලධාරීන්ට හමුවිය.
විමර්ශන නිලධාරීන් අදාල BMW රථය පිළිබඳ හෝටලයේ ආරක්ෂක කළමනාකරුගෙන් කළ විමසීමේ දි ඔහු කීවේ හෝටලේ දීර්ඝ කාලයක සිට නවාතැන් ගෙන සිටි ගාමිණි අබේරත්න නැමැති පුද්ගලයා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින අදාල මෝටර් රථය එම ස්ථානයට ගෙනැවිත් නැවැත්වූ බවය.
විමර්ශන නිලධාරීහු ගාමිණි අබේරත්න සොයා ගියහ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දි ඔහු පැවසුවේ එම මෝටර් රථය හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දුට අයත් බවත් පසුව ගෙන යන බව පවසමින් ජනාධිපතිවරණයට පෙර මෝටර් රථය රියදුරෙක් අත හෝටලයට එවූ බවත්ය.
අනතුරුව විමර්ශන නිලධාරීන්ට වාහනයේ යතුර ගෙන්වා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා ඔවුන් යොදවනු ලබන්නේ එම හෝටලයේ ආපනශාලා කළමනාකාරිය ලෙස කටයුතු කල ප්‍රශිලා සමන්තිය. ඇය හරහා ජොන්ස්ටන් ප්‍රනාන්දුට දැනුම් දී විමර්ශන නිලධාරීහු කාර් රථයේ යුතුර ගෙන්වා ගත්හ.
මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ලියවිලි කීපයක් BMW රථයේ තිබී විමර්ශන නිලධාරීන්ට හමුවිය. එහෙත් මෝටර් රථය ලියාපදිංචියට අදාල කිසිදු ලේඛනයක් එහි තිබුණේ නැත.
අනතුරුව විමර්ශන නිලධාරින් විසින් BMW රථයේ ගරාජ් අංකය වන wp c 24-0430 දරන අංකයේ ලියාපදිංචිය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂාවට ලක් කළේය. එම අංකයේ හිමිකාරිත්වය ලෙස සටහන්ව තිබුනේ නාවල ප්‍රදේශයේ පුද්ගලික සමාගමකි.
පසුව විමර්ශන නිලධාරීහු එම සමාගමේ හිමිකරුගෙන් ප්‍රශ්න කළහ. ඔහු පැවසුවේ එම මෝටර් රථයේ අංකය 2024 මාර්තු මාසයේ දී මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් තමන් මුදල් ගෙවා ලබා ගත්ත ද තමන්ට අයත් පෞද්ගලික ගුවන් විදුලි ආයතනයක තිබිය දී කිසියම් තැනැත්තෙක් එම අංක තහඩුව සොරාගෙන ගොස් තිබූ බවය.
පසුව එම ගරාජ් අංකයට අදාල චැසි අංකය WBA5E52010G115194 ශ්‍රී ලංකා රේගුව හරහා පරික්ෂා කිරීමේ දී එම චැසි අංකයට අදාල වාහනයක් නීත්‍යානුකූලව මෙරටට ආනයනය කර නොමැති බව තහවුරු වුනේය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලිම මත රස පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නිලධාරින් පැමිණ ප්‍රශ්නගත කාර් රථය පරීක්ෂාවට ලක් කළේය. එහිදී අනාවරණය වන්නේ මෙම කාර් රථය කොටස් එකලස් කර සකස් කරන ලද්දක් බවය.
විමර්ශන නිලධාරීන් මේ සිද්ධිය අද සවිස්තව අධිකරණයට වාර්තා කළේය.
ඔවුන් අධිකරණයට පැවසුවේ බදු වංචා කරමින් නීති විරෝධීව මෝටර් රථය ගෙන්වීම, ලියාපදිංචි නොකළ මෝටර් රථයක් භාවිතා කිරීම, සොරා ගන්නා ලද ගරාජ් අංක තහඩුවක් මෝටර් රථයට සවි කිරීම සහ වෙනත් මෝටර් රථයක අංක තහඩුවක් අත් අඩංගුවට ගන්නා ලද මෝටර් රතයේ සවි කර නීති විරෝධී භාවිතය යන වරද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් සිදුකර ඇති බවය.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ විදසේ ගමන් තහනම් කරන ලෙස අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක් පවරනු ලැබුවේය.







