ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඉදිරි මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට සහාය පල කරන බව ප්‍රකාශ කළේය.
නව වාමාංශික පෙරමුණ වෙනම තරග කරන නමුත් නව වාමාංශික පෙරමුණ වෙත ලබා දෙන සෑම ඡන්දයක්ම ජාතික ජන බලවේගයට ලබා දෙන ඡන්දයක් ලෙස සලකන ලෙස ඔහු සිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
දිලිත් ජයවීරගේ සර්ව ජන බලය සමග ඇතිකරගත් ගිවිසුම අත්හැර දැමූබව කී වාසුදේව නානායක්කාර පෙන්වා දුන්නේ මහා වාමාංශික ජයග්‍රහණයක් සිදුවූ විට අතරමැදි පක්ෂවල ඉඳීමෙන් පලක් නොමැති බවය. ජාතික ජන බලවේගය හා එක්වීමට සාකච්ඡා කළේ ජනාධිපතිවරණයේ දී නමුත් එම පක්ෂයේ ඇති වී තිබූ ප්‍රතිපත්තිමය කාරණා මත සන්ධානගත වීමට නොහැකි වූ බවත් ඔහු පැවසුවේය.
නව වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර අද මාධ්‍ය හමුවේ දී මෙසේ ප්‍රකාශ කළේය.
“මේ රජය වටා එකතු වී සහයෝගය ලබා දිය යුතුය යන්නයි අපේ අදහස. අපේ ප්‍රජාතාන්ත්‍රික මහජන පෙරමුණෙන් පත්වන මන්ත්‍රීවරුන් හෝ මන්ත්‍රීවරියන් විපක්ෂයට සම්බන්ධ වෙන්නෙ නෑ. අපි සම්බන්ධ වෙන්නේ ආණ්ඩු පක්ෂයේ ජාතික ජන බලවේගයට.
මම හිතන්නේ මෙහෙම ප්‍රකාශ කරන එකම පක්ෂය අපි. රජය සමග බද්ධ වී කටයුතු කිරීම අපේ බලාපොරොත්තුවයි. ජාතික ජනලබලවේගය දැනටමත් ජනතාවාදී පියවරයන් අප්‍රමාදව සහ ක්ෂණිකව ගනිමින් තිබෙනවා. පිටරටින් ගේන අල ලූනුවලට වැඩි බදු දැමීම මේ ආණ්ඩුවෙන් කරන්න යෙදුනෙ එක රැයකින්.
“මීට අමතරව බැඳුම්කර වංචාව. රනිල් වික්රමසිංහත් ඒ බැඳුම්කර වංචාවේ එක විත්තිකරුවෙක්. ඔහුට විරුද්ධවත් කළ යුතු පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. අපි උත්සාහ කළා එකට මේ ඡන්දයේ දී තරගයට ඉදිරිපත් වෙන්න. ජනාධිපතිවරණයේ දී පවා එවැනි සමීපකමක් ඇති කරගන්න උත්සාහ කළා. නමුත් ඒක සාර්ථක වුනේ නෑ ජාතික ජන බලවේගයේ යම් ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නිසා. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේ දි අප වෙනම තරග කරනවා. අපේ අනුගාමිකයින්ට අප කියා සිටිනවා අපට දෙන ඡන්දයත් ඔබ ජාතික ජන බලවේගයට දෙන ඡන්දයක්. ”
සර්වජන බලයත් එක්ක ඇතිකරගත්ත ගිවිසුම ජනාධිපති ඡන්දයේ ප්‍රතිඵලයත් සමග අත්හැර දැමූ බව කී වාසුදේව නානායක්කාර ජනාධිපති ඡන්දයේ ප්‍රතිඵලය වාමාංශික මහා ජයග්‍රහණයක් වූ විට අතරමැදි පක්ෂවල ඉඳීමෙන් පලක් නැති බව පෙන්වා දුන්නේය.







