5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අසම්පූර්ණ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවධාරණය කර ඇත.
පැමිණිලි ඉදිරිපත් කළ දෙමාපියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව සකස් කරන තුරු ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමෙන් වළකින ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව විභාග නිලධාරීන්ට ද උපදෙස් දී තිබේ.
පසුගිය ඔක්තෝබර් 15 වැනිදා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 324,000කට ආසන්න පිරිසක් මුහුණ දුන්හ.
කෙසේ වෙතත් විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් කාන්දු වී ඇති බව අනාවරණය වීමත් සමඟ විභාගයේ විභාග කටයුතු විශාල ආන්දෝලනයකට තුඩු දී තිබූ අතර ඒ අනුව පරීක්ෂණ අවසන් වනතුරු පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවීමට සිදු විය.







