මාර්ගගත ක්‍රමවේදය හරහා ඉතා පහසුවෙන් වීසා අයදුම් කිරීමෙන් අනතුරුව පැරණි ක්‍රමවේදය ඔස්සේ වීසා ලබා ගැනීමේ හැකියාව සියලුම විදේශිකයන්ට හිමිවන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පැවසීය.
ඒ අනුව පැරණි ක්‍රමවේදය ඔස්සේ වීසා ලබා ගැනීම ඊයේ (26) මධ්‍යම රාත්‍රි 12.00 සිට ක්‍රියාත්මකය.
මහජන ආරක්ෂක ඇමතිවරයා පවසන්නේ VFS ආයතනයට මෙම වීසා පහසුකම් සැලසීමේ අවස්ථාව ලබාදීම මඟින් සිදු වූ අක්රමිකතාව පිළිබඳව වහාම වෝහාරික විගණනයක් ක්‍රියාත්මක කරන බවය.
අමාත්‍ය විජිත හේරත් මේ පිළිබඳව ඊයේ සවස වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වුුයේය.
වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වුණා. විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබා ගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා. ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අධිකරණ තීන්දුව අනුව ගෙවී ගිය පැය 24ක කාලය තුළ පැරණි ක්‍රමවේදය අනුවම විසා ලබාදීම යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රි 12.00 සිට වීසා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීම දැන් විදේශිකයන්ට ඉතා පහසුවෙන් කරගත හැකියි. අද මධ්‍යම රාත්‍රි 12න් මෙම කටයුතු ආරම්භ කර පැය 24ක් තුළ වීසා ලබා දීම සිදු කරනවා. මෙය විශාල ජයග්‍රහණයක්. වීසා ගැටළුව විශාල පීඩාවක් ගෙන දුන් ප්‍රශ්නයක් වුණා. දැන් අප එම ප්‍රශ්නයට විසඳුම් ලබා දී අවසන්. ඒ පිළිබඳ අප නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත්තා. අධිකරණ තීන්දුව අනුව වහාම අප ක්‍රියාත්මක වුණා.
එසේම VFS ආයතනයට මෙය ලබාදීම මඟින් සිදු වූ අක්රමිකතාව පිළිබඳව වහාම වෝහාරික විගණනයක් ක්‍රියාත්මක කිරීමට අප දැනටමත් කටයුතු කර තිබෙනවා. එම විගණනය හරහා මේ ගනුදෙණුවේ තිබෙන අක්රමිකතාව පිළිබඳව සොයා බලා ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.







