මනම්පිටිය නිමල් ජයරත්න –
මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සහාය ලබා නොදෙන බවට ප්‍රකාශ කළපු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම බිරිඳ, සහ පුතු දහම් සිරිසේන සමග පොළොන්නරුව නවනගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයට පැමිණ තම ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේය.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ පත්වන නව ජනාධිපතිවරයාට අභියෝග රාශියක් තිබෙන බවත්, මෙම ඡන්දයට රුපියල් කෝටි 1000 කට වැඩි මුදලක් වැය වී තිබෙන බවත්, ඉදිරියේදී පැවැත්වෙන ප්‍රාදේශීය සභා සහ පළාත් පාලන ඡන්දවලදී කෝටි 4000 ක පමණ වියදමක් දැරීමට සිදුවීමෙන් රට තවත් ආර්ථික ප්‍රපාතයට වැටෙනු ඇති බවත්ය.
මෙවැනි තත්ත්වයක් උඩ පත්වන ජනාධිපතිවරයාට ජනතාවගේ ශුභ සාධන වැඩපිළිවෙළ නැංවීමට විශාල අසීරුතා පවතින බවද මෛත්‍රිපාල සිරිසේන මෙහිදී සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණයේදී කවුරු ජනාධිපති වුවද තමාගේ සහාය ඔහුට ලබාදෙන බවද සිරිසේන මෙහිදී සිහිපත් කළේය.
තමා දේශපාලනයෙන් විශ්‍රාම ගෙන නොමැති බවත්, ඉදිරි මහ මැතිවරණයකට, හෝ ජනාධිපතිවරණයකට, තරඟ කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවත් සිහිපත් කළ සිරිසේන තම දේශපාලන ප්‍රතිපත්තිය තුළ තම මතය ඉදිරිපත් කරන බවද කීවේය.






