මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට ආසන්න භූමි ප්‍රමාණයක කුඹුක්, බක්මී ඇතුළු වටිනා ගස් වර්ග කපා විශාල දැව සංහාරයක් සිදුකර තිබේ.
මෙහි සිදුවන දැව ජාවාරම සම්බන්ධව වැලිකන්ද පොලිස් ස්ථානය, වනජීවී නිළධාරීන් ඇතුළු වගකිව යුතු ආයතන දැනුවත් කළද පවතින ගමනා ගමන දුෂ්කරතා, රක්ෂිතය තුළ දිගු දුරක් ගමන් කිරීමට සිදුවීමෙන් පහසුවෙන්ම ඔත්තුකරුවන්ට නිරාවරණය වීම, සන්නිවේදන ක්‍රම භාවිතා කරමින් ජාවාරම්කරුවන් පළායාම වැනි කරුණු මත ඔවුන් නීතියේ රැහැනට හසුකරගැනීම අපහසුවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
රක්ෂිතය තුළ විශාල වශයෙන් වන අලින් ගැවසෙන බැවින් රක්ෂිතය තුළට වනජීවී නිලධාරීන්ට සහ ආරක්ෂක අංශය වලට ඇතුළත් වීමේ දුෂ්කරතාවය සැලකිල්ලට ගෙන මෙම ජාවාරම ජයටම සිදු කරන බවද හෙළි වී ඇත.
එම වන සංහාරයට අමතරව එම ජාවාරම්කරුවන් විසින් ප්‍රදේශයේ රක්ෂිත ගිනි තබා වන සතුන් දඩයම් කිරීමද සිදු කරන බවද අනාවරණය වී ඇත.
අප මේ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ වැලිකන්ද අඩවි සහකාර සී,ඒ, වනසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ රක්ෂිතයේ වටිනා ගස් කැපු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත්, එවන් මහා පරිමාණ විනාශයක් මෙතෙක් තමන්ට වාර්තා වී නොමැති බවත්ය.
ඒ පිළිබඳ සොයා බලා අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද හෙතමෙ කීවේය.







