ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හිරිනී අමරසූරිය විසින් ප්‍රකාශයක් කළ බව ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක දී ප්‍රසිද්ධියේ කී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකට එරෙහිව රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය අද (11) කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළාය.
නීතීඥ ශානිකා සිල්වා මඟින් සිය පෙත්සම ගොනු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මාවනැල්ල ප්‍රදේශයේ පසුගිය අගොස්තු 18 වැනිදා පැවැති සමඟි ජනබලවේගය පක්ෂයේ දේශපාලන රැස්වීමක දි වගඋත්තරකාර තිස්ස අත්තනායක ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහැර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි පවසා ඇතැයිද එය අසත්‍ය මෙන්ම ද්වේෂ සහගත ප්‍රකාශයක් යැයිද සඳහන් කරන්නීය.
මෙම අසත්‍ය, ද්වේශ සහගත මෙන්ම අපහාසාත්මක ප්‍රකාශය හේතූවෙන් දේශපාලනඥයකු ලෙස තමන් ගොඩ නඟාගෙන සිටින ප්‍රතිරූපයට මෙන්ම කීර්තිනාමයට හානි වු බව සඳහන් කරන ආචාර්ය හරිනි අමරසූරිය එම අපහාසාත්මක ප්‍රකාශය ප්‍රචාරය කිරීමෙන් එහි බලපෑම වඩාත් තීව්‍ර වු බවද සඳහන් කරන්නීය.
සිදුවූ හානි පූරණය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සහ ප්‍රසිද්ධ රූපවාහිනී සමාගමක් නම් කර ඇත.







