එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර එම තනතුරින් ඉවත් කර තිබේ.
ඔහුව මහ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමේ ලිපියට එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (29) අත්සන්කර ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කරයි.
පාලිත රංගේබණ්ඩාර මහ ලේකම් ධූරයට අදාල රාජකාරි නිසි ආකාරව සිදු නොකිරීම සම්බන්ධව චෝදනා ලැබ තිබීමත්, සමගි ජන බලවේගයෙන් ඉවත් වූ තලතා අතුකෝරල එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් කිරීමට පක්ෂයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවත් සැලකිල්ල ගෙන පක්ෂ නායකත්වය මෙම තීන්දුව ගෙන ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කර ඇත.
කෙසේ වෙතත් තලතා අතුකෝරල මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැත.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධූරයෙන් ඉවත් කිරිම සම්බන්ධව පාලිත රංගේ බණ්ඩාරගෙන් ලංකාදීප කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු පෙන්වා දී ඇත්තේ තමන්ට මේ වනතුරුත් එවැනි දැනුම් දීමක් කිසිවෙක් සිදුකර නැති බවය.







