තෝරාගත් ජනාධිපති අපේක්ෂකයන් 6 දෙනකු පමණක් සහභාගි කරගනිමින් ලබන 7 වැනිදා ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීමට පැෆරල් සංවිධානය කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානය පක්ෂග්රාහීව කටුයතු කරමින් සිටින බවද මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වෙද්දී පැෆරල් සංවිධානය ප්‍රධාන අපේක්ෂකයන් ලෙස 6 දෙනකු පමණක් විවාදය සදහා තොරාගෙන ඇත්තේ කුමන නිර්ණායක මත ද යන්න රටට හෙළි කළ යුතු බවත් ද ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම්වරයා පැමිණිල්ල ඉදිරිපත් කරමින් ප්‍රශ්න කරයි.
පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසින් ඉකුත් (19) වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බවද එම විවාදය සදහා පැෆරල් සංවිධානය විසින් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, පී. ආරියනේත්‍රන් යන අපේක්ෂකයන්ට ආරාධනා කර ඇත.
කෙසේ වෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සිටි වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විජයදාස රාජපක්ෂ, රොෂාන් රණසිංහ යන අපේක්ෂකයන්ට එම විවාදය සදහා ආරාධනා කර නොමැති බවත් පැමිණිලි කරු පවසයි.
සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනීසිටිනවා යැයි පවසනු ලබන පැෆරල් සංවිධානය පක්ෂග්රාහීව සිදුකරනු ලබන නින්දිත ක්‍රියා කලාපය දැඩිව හෙළාදකින බව එම පැමිණිල්ලේ සදහන්වේ.







