කොකේන් භාවිත කොට එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩා කළ ගෝල් මාවලර්ස් නායක නිරෝෂන් දික්වැල්ල ජාතික විනය කමිටුව ඉදිරියට 23 වැනිදා සිකුරාදා දිනයේ දී කැඳවන බව ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය පවසයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 12කගේ මුත්‍රා නියැදි ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය පරීක්ෂාවකට ලක් කළ අතර, එයින් නිරෝෂන් දික්වැල්ලගේ පමණක් තහනම් මත්ද්‍රව්‍යයක් වන කොකේන් ධනාත්මක බව තහවුරුවී තිබේ.
මේ පරීක්ෂණ වාර්තා ලැබූ වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දික්වැල්ලට නැවත දැනුම් දෙනතුරු තාවකාලික තරග තහනමක් පැනවූ අතර සිකුරාදි විනය කමිටුව අභියසට පැමිණවූ පසු ඔහු තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් නිදහසට කරුණක් ඇත්නම් ඉදිරිපත් කළ යුතුව ඇත.
කොකේන් මත්ද්‍රව්‍ය භාවිතයට අදාල මේ සිද්ධියේදී දික්වැල්ල වැරදිකරු වුවහොත් සියලු ආකාරයේ ක්‍රීඩාවලින් වසර හතරක තහනමකට ඔහුට මුහුණ දීමට සිදුවේ. එ
පමණක් නොව, ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය සපුරා තහනම් බැවින් ඔහුට අපරාධ චෝදනා ද එල්ල විය හැකි බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. එමෙන්ම පාර්ලිමේන්තු පනතකින් සම්මත කරන ලද ජාතික තහනම් උත්තේජක මර්දන වගන්ති අනුව ඔහුගේ පුහුණුකරුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාව ද පවතී.
නිරෝෂන් දික්වැල්ල යනු දිගින් දිගටම විනය චෝදනාවලට ලක් වූ, විනය විරෝධී ක්‍රියා හේතුවෙන් ඳඬුවම් ලැබූ ක්‍රීඩකයෙකි.
(දිනමිණ)







