වර්ෂ 2015- 2019 කාල සීමාව තුළ යහපාලන රජය සමයේ සිදුවූයේ යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවිම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුතුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව ලබාදුන් සියලුම නිර්දේශ අද (09)ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කරනු ලැබුවේය.
ඒ සමගම මෙම නඩු ගොනු කළ පෙත්සම්කරුවන්ට එක් ලක්ෂ පනස් දහස බැගින් වෙන් වෙන්ව නඩු ගාස්තු ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියම කළේය.
එම නියෝගය නිකුත් කරනු ලැබුවේ විජිත් කේ. මළල්ගොඩ, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව නිකුත් කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබු ජනාධිපති කොමිෂන් සභාව විසින් තමන් උදෙසා ලබා දුන් නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් සමන් රත්නායක, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක, හිටපු නාවික හමුදාපත් ට්‍රෙවිස් සින්නයියා, හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ඇතුළු පාර්ශව නවයක් විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.
මෙම පෙත්සම් විභාගය පවත්වාගෙන යෑමට එරෙහිව මුලින්ම නීතිපතිවරයා විසින් සිය විරෝධය ගොනු කර තිබිණි. නීතිපතිවරයා අධිකරණයට දැන්වූයේ කොමිසමෙ නිර්දේශ ගැන සොයා බැලීම සම්බන්ධව ඉදිරි පියවර නොගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බැවින් එම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍යතාවයක් නැති බව නීතිපතිවරයා අධිකරණයට කීවේය.
නමුත් පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ විරෝධතා පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කළේය.
මෙම පෙත්සම්වල වග උත්තර කරුවන් ලෙස එම ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයින්, එවකට අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, නීතිපතිවරයා ඇතුළු 90ක් නම් කර තිබිණි.
මෙම පෙත්සම් ගොනු කර තිබුණේ නීතිඥ මංජුල බාලසූරිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් මගිනි.
නීතිපතිවරයා වෙනුවෙන් එවකට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙක් වු වත්මන් නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ හෙන්රි පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව,
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක ඇතුළු පිරිසක් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.







