ඖෂධ වංචාවට අදාල නඩුවට සම්බන්ධව බන්ධනාගාරගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත සහ අතිරේක ලේකම් සමන් රත්නායක ඇප මත මුදාහරින්නට අධිකරණය නියෝග කළේය.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම ඉදිරියේ අද එම නඩුව කැඳවා තිබිණි
සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමිනි.
හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් අපරාධයේ සැලිකය යුතු භූමිකාවක් කළ බවට චෝදනා ලැබූ හිටපු සෞඛ්‍ය ලේකම්වරයා පසුගිය දෙසැම්බර් 18 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් අනතුරව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කරනු ලැබුවේය.
ඉමියුනිග්ලොබිමින් එන්නත් ගනුදෙනුව සම්බන්ධව දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පුදගලික සමාගම් හිමිකරු වෙත එන්නත් නිශ්පාදනය සඳහා රුධිර ප්ලාස්මාව නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයාට එම ප්ලාස්මාව සමාගම් අයිතිකරු වෙත නිකුත් කරන ලෙස එවකට සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ලිඛිතව නියෝග ලබා දී තිබිණි.
එම ප්ලාස්මාව යොදාගෙන රටතුළ ඇති ඖෂධ නිශ්පාදනය ආයතනයක් තුළ හියුමන් ඉමියුනිග්ලොබියුලින් එන්නත නිශ්පාදනය කර ඉන්දීය සමාගමකින් ගෙන්වා ගත්තා සේ ඖෂධ නියාමන අධිකාරියෙන් නිදහස් කරගෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අලෙවි කිරීම මෙම ජාවාරම විය.







