සියලු හිත් අමනාපකම්, සිදුවූ අඩුපාඩුකම් සියල්ල අත් හැර යළිත් පොහොට්ටුව සමග එක්වන ලෙස පොහොට්ටුවේ ජාතික සංවිධායක සහ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් පොහොට්ටුව අත්හැර ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක් වී සිටින සියළු දෙනාට ගෞරවයෙන් ආරාධනා කරන බව නාමල් රාජපක්ෂ පවසයි.
නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී ජනාධිපති අපේක්ෂකයා ලෙස වගකීම් භාර ගැනීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මෙම ආරාධනාව පොහොට්ටුවෙන් හැලුන පිරිසට කළේය.
ඔහු කීවේ මෙවැන්නකි.
පක්ෂයේ දේශපාලන මණ්ඩලයට , පාක්ෂිකයන්ට මේ අභියෝගාත්මක අවස්ථාවේ දී මා කෙරෙහි විශ්වාසය තබලා මේ වගකීම භාර දීම පිලිබඳව විශේෂයෙන් මම ස්තූතිවන්ත වෙනවා.
පැහැදිලිවම අපි අභියෝග භාර ගන්න සූදානම්. අභියෝග තිබෙන අවස්ථාවක දී තමයි නායකත්වයට තරුණයන් අවශ්‍ය වන්නෙත්. අපි අපේ පාක්ෂිකයින් සහ අපේ ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාස කරනවා. මේ රටේ තරුණයින් අපේක්ෂා කරන නූතන පරම්පරාවේ දේශපාලනය මල්ඵල ගැන්වීමට පොදුජන පෙරමුණ ලෙස අපි බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා හැටියටත් ජනාධිපති අපේක්ෂකයා හැටියටත් අපේ පක්ෂය හැර ගොස් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ සිටන අපේ පොහොට්ටුවේ සියළු දෙනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා හිත් අමනාපකම් , සිදු වූ අඩුපාඩුකම් අමතක කර අපි සමඟ නැවත එකතු වන ලෙසට.
අපි අනිවාරයෙන්ම ජයග්‍රහණය කරනවා. මගේ ජයග්‍රහණය කියන්නේ පක්ෂයේ ජයග්‍රහණයයි. පක්ෂයේ ජයග්‍රහණය කියන්නේ රටේ ජයග්‍රහණයයි. මැතිවරණය කියන්නේ අභියෝගයක්. අභියෝග වලට මුහුණ දෙන්න තමයි තරුණ අපි ඉන්නේ. අපේ ගනුදෙනුව තිබෙන්නේ අපේ පාක්ෂිකයින් සමගයි. පාක්ෂිකයින් ආරක්ෂා කරමින් රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් රට ජයග්‍රහණය කරා ගෙන යාමට අපි කැපවෙනවා.
ඔහු පැවසුවේ ධම්මික පෙරේරාගේ වෙනස්වීම සම්බන්ධව විමසිය යුත්තේ ධම්මික පෙරේරාගෙන් බවය. තමන් තමන්ට පැවරී ඇති වගකීම ඉෂ්ඨ කරන බවය.







