මනම්පිටිය නිමල් ජයරත්න –
ඊයේ ( 03) රාත්‍රියේ බිහිසුණු රිය අනතුරක් සිද්ධ වුනේය. අනතුර සිද්ධ වන්නේ පොළොන්නරුව අරලගංවිල – මහඔය ප්‍රධාන මාර්ගයේ මාදුරුඔය එන්.ඩී.කේ ජලාශයට හැරෙන හන්දියට ආසන්න අම්බලම ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙනි.
බස් රථ දෙකේම ඉදිරිපස මුහුණත් කුඩු ය. එහෙත් දෙයියන්ගේ පිහිටෙන් ජීවිත හානි නැත. කළමනාකරණය කිරීමට අපහසු බරපතල රෝගීන් සම්බන්ධව ද වාර්තා නොවේ.
මේ වනවිට අනතුරින් 23 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර සිටිති. ඔවුන් ප්‍රතිකාර ලබන්නේ අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ සහම මහඔය මූලික රෝහලේය. කාන්තාවන් 12 ,ක් ළමයින් 8 සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටිති.

මුහුණට මුහුණ ගැටෙන්නේ වන්දනා නඩ රැගෙන වන්දනාවේ පැමිණි පෞද්ගලික බස් රථ දෙකකි. අනතුර සිදුවන අවස්ථාවේ එක් බස් රථයක් අනුරාධපුරයේ සිට අම්පාර උහන ප්‍රදේශය බලාත් අනෙක් බස් රථය අම්පාර දීඝවාපිය චෛත්‍ය වන්දනා කොට යන පිරිසක් රැගෙන කුරුණෑගල ,මහව ප්‍රදේශය බලාත් ධාවනය වෙමින් තිබී ඇත.
අනුරාධපුරයේ සිට වන්දනාකරුවන් රැගත් බස් රථයේ රියදුරුගේ අධික වේගය හා අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මහඔය පොලීසිය පවසයි.
අනතුරින් අම්පාර දීඝවාපිය සිට කුරුණෑගල දක්වා වන්දනාකරුවන් රැගත් බස් රථයේ රියදුරුට හා බස් රථ දෙකෙහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකුට සැලකිය යුතු තරම් තුවාලය. ඔවුන් මේ වනවිට අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබමිනි.
මෙම අනතුරට සම්බන්ධ අනුරාධපුරයේ සිට අම්පාර උහන දක්වා බස් රථය ධාවනය කළ බස් රථ රියදුරා අත් අඩංගුවට ගෙන ඇත.
මෙම අනතුර පිලිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු අම්පාර මහඔය පොලිසිය මගින් සිදු කරනු ලබයි. අප හැමදාම කියන ලෙස මාර්ග විනය සම්බන්ධව ඇති නොසැලකීම මිනිස් ජීවිත දේපල පමණක් නොව අවසානයේ රටේ ජාතික ආර්ථිකයටත් බලපාන්නේය. අප ජීවත් වෙන්නේ අවම වශයෙන් දවසකට හය දෙනෙක් පාරේ මැරෙන රටකය. අඩුම ගානේ දහ පහළොස් දෙනෙක් ජීවිතය පමණක් යන්තම් ඉතිරි කරගෙන බරපතල තුවාල ලබන රටකය. ඒ මිනිස්සු ජීවිතයේ ඉතිරි කාලය ගෙවන්නේ මියගියා සේය.
හැමදාම උදේ රැයින් වාර්තා වන්නේ මෙවැනි තේරුමක් නැති ඛේදවාචකවනවිට ඒ රටට අහවල් සුගතියක් දැයි විමසා සිටිමු.







