දිනසේන රතුගමගේ –
යාපනය බන්ධනාගාරයේ රදවා සිටි ඉන්දීය ධීවරයින් 23 දෙනාගෙන් 20 දෙනෙකු ඌර්කාවතුරේ අධිකරණය මගින් දඩුවම් නොමැතිව 1 දා නිදහස් කොට තිබේ.
ඉතිරි තුන් දෙනා බෝට්ටු පදවන ලද පුද්ගලයින් තුන් දෙනා වන අතර ඔවුන්ට අධිකරණයෙන් නිදහස නොලැබුණේ මීට ඉහතදී ඔවුන්ගෙන් දෙදෙනෙකුට එරෙහිව අත් හිටවූ සිරදඩුවම් තිබූ බැවිනි.
ඌර්කාවතුරේ මහේස්ත්‍රාත්වරයා යාපනයේ ධීවර නිලධාරීන්ට නියෝග කොට ඇත්තේ එම තුන් දෙනා පිළිබඳ වාර්තාවක් 5 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙසයි.
ඉන්දියාවේ රාමේස්වරන් ප්‍රදේශයේ සිට මෙම ධීවරයින් පිරිස බෝට්ටු තුනකින් උතුරු මුහුදට පැමිණ අනවසරයෙන් මසුන් මරමින් සිටියදී නාවික හමුදාව විසින් ඩෙල්ෆ්ට් මුහුදු සීමාවේදී 2024 -06-30 දින අත් අඩංගුවට ගෙන තිබුණි.
ධීවර පරීක්ෂක නිලධාරීන් හරහා එම ධීවරයින් යාපනයේ ඌර්කාවතුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් පිරිස මෙතෙක් බන්ධනාගාර ගත කොට සිටි අතර ඔවුන් සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසුව ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ට නිදහස ලැබී තිබේ.
අධිකරණය විසින් නිදහස් කළ ධීවරයින් 20 දෙනා යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය කොන්සෝල් ජනරාල් කාර්යාලයේ හා නාවික හමුදාවේ සහය මත ආපසු ඉන්දියාවට යැවීමට කටයුතු කරණ ලෙසද මහේස්ත්‍රාත්වරයා ධීවර නිලධාරීන්ට නියෝග කොට තිබේ.
ඒ අනුව ඔවුන්ව 2 දා කන්කසන්තුරේ ප්‍රදේශයෙන් ඉන්දියාව වෙත යැවීමට අවශ්‍ය කටයුතු නාවික හමුදාව විසින් යොදා ඇත.







